මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ලන් වගාවෙන් හොඳ ආදායමක්

    සැප්තැම්බර් 22, 2014

    පසුගිය කාලේ ධීවර ක්ෂේත‍්‍රයේ විවිධ අත්හදා බැලීම් කර බෙල්ලන් වගාව ආරම්භ කළ බවත් මේ වන විට බෙල්ලන් කිලෝ 4500ක් අපනයනය කර විශාල ආදායමක් ලබන්න හැකි වී ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා දංකොටුව තැප්‍රොබේන් මත්ස්‍ය අපනයන සමාගම ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මීගමුව, දංකොටුවේ පිහිටි තැප්‍රොබේන් ෆ්‍රෝශන් ෆුඩ් පුද්ගලික සමාගම මඟින් ඉස්සන්, බෙල්ලන්, කකුළුවන් ටින් කර අපනයනය කරනු ලබයි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "මේ වගේ ආයතන 04ක් විවෘත කළා. මේ 04 වැනි කර්මාන්ත ශාලාවයි. එක කර්මාන්ත ශාලාවක් යුද්ධයෙන් යාපනය නිදහස් කරපු සමයේ ම යාපනයට ගිහිල්ලා ආරම්භ කළා. ඊට පස්සේ මන්නාරම, කිලිනොච්චි කර්මාන්ත ශාලා විවෘත කළා. එහි විශාල කකුළුවන් ප‍්‍රමාණයක් වෙළෙඳපොළට අපනයනය කළා. එහි 1000ක පමණ පිරිසක් සේවය කරනවා. අවුරුදු 30ක ජීවිතේ අඳුරු කාලයක් අවසන් කරපු බොහොම අහිංසක ජනතාවක් ජීවත්වන උතුරේ මෙවැනි කර්මාන්ත ශාලා ආරම්භ කිරීම අතිමහත් සේවාවක් වෙනවා. මේ නිසා යාපනය, මන්නාරම ජනතාව ඔවුන් ගත කරපු දුක්ඛිත ජීවිත අද හොඳ තත්ත්වයට පත්කරගෙන තියෙනවා. 

     

    දංකොටුවේ කර්මාන්ත ශාලාවෙන් ඉස්සන් සහ ටුනා මත්ස්‍යයන් විතරක් නෙවෙයි කැනඩාවෙන් ආනයනය කරන පැණි රස ඉස්සා පැක් කරලා නැවත ජපානයට යවනවා. පසුගිය කාලේ විදේශ ආයෝජන විශාල ප‍්‍රමාණයක් අද ධීවර ක්‍ෂේත‍්‍රයේ ආයෝජනය කරලා තියෙනවා. ලංකාවේ මෝදා මාළු (සී බාස්) ඇතුළු නොයෙකුත් අලුත් ධීවර නිෂ්පාදන ඇති කළා. අපි එදා ලෝක වෙළෙඳපොළට අපනයනය කළේ ටූනා මසුන් විතරයි. එදා ටුනා වෙළෙඳපොළ ගැන විතරක් හිතපු අපේ මත්ස්‍ය කර්මාන්තය අද අලුත් යුගයකට පිවිසුණා. එයින් පළවෙනි එක තමයි මුහුදු පැළෑටි නිෂ්පාදනය. අපි යාපනයේ පළවෙනි වරට ජපාන ආයෝජකයෝ එක්ක මුහුදු පැළෑටි නිෂ්පාදනය ආරම්භ කළා. ලබන ජනවාරි මාසයේ සිට හේලීස් සමාගම මුහුදු පැළෑටි කන්ටේනර් දෙකක් බැගින් අපනයනය කරනවා. මන්නාරම, කින්නියාවල බෙල්ලන් ව්‍යාපෘතිය ආරම්භ කළා. පසුගිය කාලේ ඒකෙන් හොඳ අස්වැන්නක් ලැබුණා. 

    දෙවැනි ව්‍යාපෘතිය මන්නාරමේ ආරම්භ කළා. යුද්ධයෙන් පීඩාවට පත්වෙලා ඉතා දුක්බර ජීවිත ගත කරපු ජනතාවක් එක්කයි අපි බෙල්ලන් ව්‍යාපාතිය ආරම්භ කළේ. අද අපේ රටේ තියෙන හැම තරු පහේ හෝටලයක ම බෙල්ලන් ආහාරය තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි පසුගිය වසර වන විට බෙල්ලන් මෙට්රික් ටොන් 4 1/2කට වැඩි ප‍්‍රමාණයක් අපනයනය කළා. ඒ වගේ ම අපි පසුගිය කාලයේ කල්පිටිය ප‍්‍රදේශයේ බෙල්ලන් වගාව ආරම්භ කළා. බෙල්ලන් වගාකරන භූමි ඇති කළා. දැන් ඊශ‍්‍රායලයත් එක්ක මෝදා වගාව කරන්න අක්කර 200ක පොකුණු හැදුවා. දැන් ඒවායේ අස්වැන්න අපනයනය කරනවා. එහි දෙවන අදියරට තවත් අක්කර 100ක් යොදවා තියෙනවා. ස්කොට්ලන්ත ආයෝජකයෝ එක්ක ත‍්‍රිකුණාමලයේත් මෝදා මාළු වගා ව්‍යාපෘතියක් ආරම්භ කළා. 

    අපේ මුහුදු කූඩැල්ලාට චීනය ඇතුළු චීන ජාතිකයන් වෙසෙන හැම රටක ම ඉල්ලුමක් තියෙනවා. මේ මුහුදු කූඩැල්ලා ආතරයිටීස් රෝගයට ඉතා ම හොඳයි. ඒ නිසා මුහුදු කූඩැල්ලා වගා කිරීම ආරම්භ කළා. මේ වන තෙක් තිබුණේ මුහුදු කූඩැල්ලා අල්ලා ගැනීම පමණයි. අපි තව ව්‍යාපෘතියක් යාපනයේ ආරම්භ කළා. අපේ රටේ පොකිරිස්සා ඉතා කුඩයි. ඒ නිසා පොකිරිස්සන් තර කිරීමේ ව්‍යාපෘතියක් වියට්නාමයත් එක්ක අපි ආරම්භ කළා. දැන් මේ ව්‍යාපෘතිය උතුරේ ක‍්‍රියාත්මක වෙනවා. මේවාත් එක්ක දහස් ගණනක් ජනතාව අද ධීවර කර්මාන්තයේ යෙදෙනවා විවිධ අංශ එක්ක සම්බන්ධ වෙලා. ඔවුන්ගේ ජීවිතවල අරුණාලෝකය ලබලා තියෙනවා. ඒ ගැන අපි ඉතා සතුටු වෙනවා. මේ වන විට ලෝකයේ ම විශාල ම අපනයනකරුවෙක් බවට ලංකාව පත්වෙලා. ඒ වගේ ම අපි ලෝක වෙළෙඳපොළ ඉතා ම හොඳින් දිනාගනිමින් තියෙනවා" යැයි පැවසීය.

     

     

    මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප‍්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ධීවර අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි මහත්වරු ද සහභාගි වූහ.

     

    NDH

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya