අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා 2014 - ජාතික ගොවි සතියේ අවසන් උත්සවයට සහභාගි වෙමිනි.
අමාත්‍යවරයා පැවසුවේ, රට පිළිබඳ හැඟීමක් ඇති නායකයෙක් සිටින නිසා කෘෂිකර්මාන්තයේ දියුණුවට සියලු පහසුකම් ලැබෙන බවයි.
තෙලිජ්ජවිල පැවති ප‍්‍රදර්ශනය නැරඹීමට පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මහ වැසි නොතකා සහභාගී වූ අතර මෙම අවස්ථාව මාතර පුරවරයට ඓතිහාසික අවස්ථාවකි. මෙම ප‍්‍රදර්ශනය ඉතා සාර්ථක ව පැවති බව සියලු දෙනාගේ ම අදහස විය. යම් කාර්යයක් නිමකිරීමෙන් අනතුරු ව එහි ප‍්‍රතිඵල දෙස බලා අන් අය සෑහීමට පත් වේ නම් එය අපට සතුටු විය හැකි කරුණකි.
මාතර දිස්ත‍්‍රික්කයේ වගා කිරීමට නොහැකි යැයි සඳහන් කළ බෝග මෙම ප‍්‍රදර්ශන භූමිය තුළ වගා කර පෙන්වීමට අපට හැකි විය. අපේ රටේ භූමිය ඉතා වාසනාවන්ත භූමියකි. සරුසාර භූමිය තුළ ඕනෑ ම දෙයක් වගා කළ හැකියි.
කෘෂිකර්මාන්තයේ දී අවශ්‍ය වන්නේ ජලය සහ කැපවීමයි. සාමාන්‍ය කාලගුණික තත්ත්ව යටතේ ගොවිතැනෙන් සරුසාර අස්වැන්නක් ලබාගත හැකියි. පසුගිය කාලයේ රට තුළ පැවති ආකල්පය වූයේ ආහාර පිටරටින් ගෙන්වීම වඩාත් ලාභදායී බවයි. වෙලේ නියරේ වැවෙන මුඟුණුවැන්න සහ ගොටුකොළ පවා පිටරටින් ගෙන්වීමට සිදු විය. රටේ නායකයන් පවා දේශීය ව ආහාර බෝග වගා කිරීමට උනන්දුවක් නොදැක් වූ අතර ජනතාවගේ වහල් මානසිකත්වය තුළ ඔවුහු නිරන්තරයෙන් පිටරට දේ අගය කළහ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ නායකත්වයට පත්වීමෙන් අනතුරු ව දේශීය කෘෂි නිෂ්පාදන දිරිගන්වමින් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ‍්‍රී ලංකාවේ භූමි වපසරියෙන් හෙක්ටයාර් හය ලක්ෂයක පොල් වගා කර ඇත. නමුත් පොල් වගාව ආශි‍්‍රත ව වෙනත් වගාවක් සිදු නො වේ. පොල් වගාව ආශ‍්‍රිත ව පලතුරු වගාව සිදුකිරීමට හැකියි. අප නිරතුරු ව ම අවධානය යොමු කළ යුත්තේ සෑම බිම් අඟලක ම වගාකිරීම කෙරෙහිය. වර්තමානයේ දී දේශීය අවශ්‍යතාවෙන් 60%ක් ලොකු ලූනු දේශීය ව නිෂ්පාදනය කරයි. පසුගිය කාලයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුළ ලොකු ලූනු වගාව ඉතා සාර්ථකව සිදු විය. අපේ මීළඟ උත්සාහය මන්නාරම දිස්ත‍්‍රික්කය තුළ ලොකු ලූනු වගා කිරීමයි. එවිට අපේ‍්‍රල්, මැයි, ජූනි මාසවල ද ලූනු අස්වැන්න ලැබෙන නිසා වාර්ෂිකව දේශීය ලොකු ලූනු අස්වැන්න ලබාගත හැකිය. ලොකු ලූනු ගොවීන්ට බදු සහන ලබාදෙමින් ගොවියාට ලාභ ලබන ගොවිතැනක් පවත්වාගෙන යාමට රජය නිරතුරුව ම උපකාර කරයි. මේ නිසා නුදුරේදී ම ලොකු ලූනු ආනයනය සම්පූර්ණයෙන් ම නතර කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු කීය.
අප විශ්වාස කරන්නේ පිටරටින් ගෙන්වන ඇපල්, දොඩම්, මිදි පමණක් පලතුරු වන බවයි. නමුත් වර්ෂය පුරා ම විවිධ පලතුරු වර්ග රාශියක් දේශීය ව දක්නට ලැබේ. දේශීය පලතුරු අවශ්‍යතාව සපුරා ගැනීමට විදේශ ආනයන මත රඳාපැවතීම අවශ්‍ය නො වේ. වස විස නැති නැවුම් පලතුරු ලබාගැනීමේ හැකියාව පවතිද්දී දිගු කලක් තබාගත හැකි පරිදි වස විස ඇතුළු කර පිටරටින් ගෙන්වන ඇපල්, දොඩම් ආහාරයට ගැනීම අපගේ මානසික වහල්භාවයේ ලක්ෂණයකි. මින් පෙර සිටි නායකයන් කුඹුරු ඉඩම් ගොඩකර, රජය සතු වී ගබඩා පෞද්ගලික අංශයට විකුණා දැම්මේය. නමුත් වත්මන් ජනාධිපතිතුමා පුරන් ව ගිය කුඹුරු නැවත සහලින් අස්වැද්දීමට සමත් විය. රට තුළ කෘෂිකාර්මික ප‍්‍රබෝධයක් ඇති කිරීමට වත්මන් නායකත්වය පෙරමුණ ගත්තේය. රටේ දුගීභාවය පහළ මට්ටමකට ගෙන යමින් ඒකපුද්ගල ආදායම ඩොලර් 3000 දක්වා ඉහළ නැංවීමට වත්මන් රජයට හැකිවිය. මෙවර ප‍්‍රදර්ශනය තුළින් ඔබ ලබාගත් ආදර්ශය අනුව ඔබගේ ගෙවත්ත වගා කළ හැකි නම් අපේ අපේක්ෂාව එයයි. නැරඹීමෙන් සතුටක් විඳ ඉන් එහාට එය අමතක කර දැමීම වෙනුවට ඒවා අපගේ ජීවිතයට ළංකර ගැනීම වැදගත්ය. මෙම ප‍්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට නන් අයුරින් දායක වූ සැමටම ගෞරවනීය ස්තූතිය පළ කරමින්. කෘෂිකර්ම අමාත්‍යතුමා ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාවට ද ස්තූතිය පළ කළේය.
NDH