මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කය ආවරණය කරමින් ගොවි හමු 650ක්

    ජූලි 25, 2014
    2014 ගොවි සතිය හා කෘෂිකාර්මික ප්‍රදර්ශනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි සියලුම ගොවිජන සේවා බල ප්‍රදේශ ආවරණය කරමින් ගොවි හමු 650ක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


    "අන් අස්වනු පූදින නිල්වලා අරුණෝදය" යන තේමාවෙන් මෙවර ගොවි සතිය හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය පවත්වන්නට සැලසුම් කර ඇත. ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයේ තෙලිජ්ජවිල ප්‍රදේශය තෝරාගෙන තිබේ.

     

    ගොවිතැන් කටයුතුවල නිරතවීමේදී ගොවීන්ට පැන නගින ගැටලු නිවැරදිව හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම මේ ගොවි හමු පැවැත්වීමේ අරමුණයි. ගොවි සතියේදී ගොවීන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳ ව ගොවීන්ගෙන් ම අදහස් හා යෝජනා ලබා ගැනීම මෙහි තවත් අරමුණකි. ගොවි හමු පැවැත්වීමෙන් ගොවි ජනතාව හා කෘෂිකර්ම නිලධාරීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය වේ. මාතර දිස්ත්‍රික්කයේ සෑම ගොවි මහතෙකුට ම ප්‍රතිලාභයක් හිමි වන සේ මෙවර ගොවි සතිය පැවැත්වීම කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ද අපේක්ෂාව බව අමාත්‍යාංශය පැවසීය. 

     

    මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති කෘෂිකාර්මික ප්‍රදර්ශනය තවත් එක් සාම්ප්‍රදායික ප්‍රදර්ශනයක් පමණක් නො වේ. මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රතිලාභ රැසක් හිමි කර දෙන සුවිශේෂී සංවර්ධන සැලසුමක් ගොවි සතිය තුළ ක්‍රියාත්මක කෙරේ. සෑම ගෘහ ඒකකයක් සඳහාම අවම වශයෙන් එක් පලතුරු පැලයක් ලබාදීම, පලතුරු ගම්මාන ඇති කිරීම, කාබනික පොහොර ආදර්ශ ගම්මාන ඇති කිරීම, පුරන් කුඹුරු සඳහා කෙටිකාලීන බෝග හඳුන්වා දීම, ගොවි ගැටලු විසඳීමට ජංගම සේවා ක්‍රියාත්මක කිරීම, දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීම, තරුණ ගොවි සංවිධාන පිහිටුවීම, දේශීය වී වගා යාය වැඩසටහන, දිස්ත්‍රික්කයේ කොරටු වගාවේ සහ බිම්මල් වගාවේ නියුතු ගොවීන් ලියාපදිංචිය, ගෙවතු වගා තරග පැවැත්වීම ආදී වැඩසටහන් රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවනු ඇත.

     

    ඉදිරි සති කිහිපය තුළදී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ගොවිජන සේවා බල ප්‍රදේශයේ පැවැත්වෙන ගොවි හමුවට සහභාගි වී මෙතෙක් නොවිසඳුණු ගොවි ගැටලුවලට විසඳුම් ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා මාතර දිස්ත්‍රික්කයේ සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. ගොවි හමුව සඳහා කෘෂිකර්ම නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් සහභාගි වන බැවින් මේ අවස්ථාවේ ගොවීන් උපරිම ඵල නෙළා ගනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya