අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ගොවීන්ගේ ගැටලු සඳහා පර්යේෂණ අරඹයි

    ජූලි 24, 2014
    හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනය මඟින් ජාතික ගොවි සතියට සමගාමීව ගොවි සංවිධාන නායකයන් සඳහා වූ පුහුණු වැඩසටහන් 22ක් සහ ගොවි ජනතාවගේ ගැටලු හා ප‍්‍රාදේශීය සංවර්ධනයට අදාළව පර්යේෂණ වැඩසටහන් 3ක් ක‍්‍රියාත්මක කර ඇත. 


    ඒ අනුව ගොවි සංවිධාන සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ පිහිටි සියලු ම ගොවිජන සංවර්ධන බල ප‍්‍රදේශයන්හි පිහිටි ගොවි සංවිධානවල නායකයන් එනම් සභාපති, ලේකම් හා භාණ්ඩාගාරිකවරුන් සඳහා පුහුණු වැඩසටහන් 22ක් සංවිධානය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

     

    ගොවි සංවිධාන ශක්තිමත් කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙහි අරමුණයි. ගොවි සංවිධාන සාර්ථකත්වය සඳහා නායකත්වය, ගොවි සංවිධාන. වල කාර්යභාරය හා නීතිමය බලතල, පාරිසරික කෘෂිකර්මය ආදී වැදගත් මාතෘකාවලට අදාළව මෙහිදී දේශන හා සාකච්ඡා පවත්වනු ඇත.

     

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මඟින් ක‍්‍රියාවට නංවන පර්යේෂණ වැඩසටහන් අතර මාතර දිස්ත‍්‍රික්කයෙහි ගොවීන් මුහුණපාන කෘෂිකර්මාන්තය හා ඔවුන්ගේ ජීවන තත්ත්වයට අදාළ ගැටලු පිළිබඳව අධ්‍යයනයක් සිදු කෙරේ. ගොවීන්ගෙන් ඔවුන්ගේ ප‍්‍රදේශවල පවත්නා ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදු කරනු ඇත. 

     

    මාතර දිස්ත‍්‍රික්කයේ පලා වර්ග වවන්නන් මුහුණපාන ගැටලු සඳහා විසඳුම් යෝජනා කිරීමේ අදහසින් සැලසුම් කර ඇති පර්යේෂණයක් ද හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනය මඟින් මෙහෙයවයි. මාතර දිස්ත‍්‍රික්කයේ මාලිම්බඩ, ගොඩගම, මදුරුදුව, අපරැක්ක, හක්මන, විල්පිට හා අකුරැස්ස යන ප‍්‍රදේශවල කංකුන්, මුකුණුවැන්න ඇතුළු අනෙකුත් කොළ එළවළු වගා කරන ගොවීන් හමුවී අදාළ තොරතුරු ලබා ගැනීම මඟින් මෙම පර්යේෂණ සිදු කිරීමට නියමිතය. 

     

    නිල්වලා ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පවතින ඉඩම්වලින් දැනට වගා කිරීම සිදු නොකරන ඉඩම් නැවත ඵලදායී ලෙස භාවිතයට ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග හඳුනාගැනීම සඳහා අධ්‍යයනයන් සිදු කිරීමට ද හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනය සැලසුම් කර තිබේ. මෙහිදී අදාළ පාර්ශව, ආයතන හා ගොවීන්ගේ යෝජනා සලකා බැලීම තුළින් ජල කළමනාකරණය විධිමත් කිරීමටත් ප‍්‍රදේශ සඳහා උචිත විකල්ප බෝග හා සත්ත්ව පාලන ක‍්‍රම හඳුනා ගැනීමටත් කටයුතු කෙරේ. මෙම වැඩසටහන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya