අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල් නළ උඩ අනවසරයෙන් පදිංචිව සිටින සියලු දෙනාට නව නිවාස - අමාත්‍ය අර්ජුන රණතුංග

    ඔක්තෝබර් 25, 2018

    කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගෙන යන නළය ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව සිටින පවුල් සඳහා නිවාස ලබා දීම සිදු කෙරිණි.

    ඒ එම පවුල් සඳහා නිවාස ලබා දීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමිනි. කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය දක්වා ඉන්ධන ගෙන යන නළ පද්ධතිය වසර 70ක් පමණ පැරණි වේ. ඒ හේතුවෙන් ඉන්ධන ගෙනයාම සඳහා අඟල් දොළහේ නව නළයක් එළීමේ ව්‍යාපෘතිය ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් සිදු කරයි.

     

    එහි අවසන් අදියර ක්‍රියාත්මක කෙරෙන මහවත්ත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව සිටින පවුල් සඳහා නිවාස ලබා දීමේ පළමු පියවර අද ක්‍රියාත්මක කෙරුණේ දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශ්‍රවණාගාරයේදීයි. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

     

    එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ තෙල් නළය ආශ්‍රිතව අනවසරයෙන් පදිංචිව සිටින සියලු දෙනා ඉවත් කරන ලෙසට උසාවි තීන්දුවක් ඇතිමුත් වත්මන් රජය මෙම ප්‍රශ්නය දෙස මානුෂිකව බලන බවයි. ඉතා නොබෝ දිනකින්ම ඉතිරි පවුල් සඳහා නිවාස ලබා දෙන බවද අමාත්‍යවරයා  මෙහිදී සහතික විය.

    “ඔබ සියලු දෙනා තමයි මේ බටේ උඩ ජිවත්වුණු අය. මට එක වෙලාවකට හිතුණා ගිනිගොඩක් උඩ ඔබ සියලු දෙනා කොහොමද හිටියේ කියලා. ඔබගේ වාසනාවටත් රටේ වාසනාවටත් මේ බටේ පත්තු වෙන්නේ නැතිව ඇති. මේ බටේ පත්තු වුණානම් මුළු කොළඹම අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙන්න තිබුණා. නමුත් අද අපි සැලසුම් සහගතව නිසි ක්‍රමවේදයක් යටතේ මේ බටය උඩ අනවසරයෙන් පදිංචිව සිටින සියලු දෙනා නැවත වෙනත් ස්ථාවල පදිංචි කිරීමට කටයුතු කරනවා. ඇත්තටම උසාවි තීන්දුවෙන් අපට කියලා තිබුණේ අනවසර පදිංචියෙන් සිටින ඔබ සියලු දෙනාම ඉවත් කරන්න කියලා. පසුගිය ආණ්ඩු කාලේනම් රෑට ඇවිල්ලා පැය ගාණක් යන්න කලින් ඔබට ගහලා ඉවත් කරනවා. ඔබ සියලු දෙනාටත් වෙන්නේ පාරේ අඬ අඬා ඉන්න. නමුත් අපේ ආණ්ඩුව එහෙම කළේ නැහැ. අපි ඔබ සියලු දෙනාම අතරං කරන්නේ නැතිව සාධාරණ ලෙස නිවාස ලබා දෙමින් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා තෙල් ගෙනියන බටය අවුරුදු 70 විතර පරණ නළයක්. මේ නළය කොයි වෙලාවෙද පුපුරන්නේ කියලා කියන්න බැහැ. කාන්දුවක් කොයි වෙලාවේ ඇති වෙයිද කියලා කියන්න බැහැ. අවුරුදු විස්සක් තිස්සේ මේ නළය අලුතින් දාගන්න බැරුව සිටියේ. නමුත් තවදුරටත් ප්‍රමාද කරන්න බැහැ. ඒ නිසා තමයි කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන විදියට මේ නළය යළි එළිමේ කටයුතු කිරීමට අප පියවර ගත්තේ....”යි එම අවස්ථාවේදී වැඩිදුරටත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

     

    උත්සව සභාව අමතමින් කොළඹ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ නළය ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව සිටින පවුල් 419ට නිවාස ලබා දෙන බවයි. මෙම වසර අවසන් වීමට පෙර එම නිවාස ලබා දීම සිදු කරන බවද  මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya