අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර ලුණු වතුරට විසඳුමක්- රුපියල් මිලියන32,000ක ආයෝජනයෙන් ඒකාබද්ධ ජල ව්‍යාපෘතිය ඇරඹේ

    ඔක්තෝබර් 24, 2018

    කළුතර ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ජල ප්‍රශ්න රාශියකට විසඳුමක් ලබා දීමටත් නියඟ කාලයේ දී පානීය ජලයට ලුණු මිශ්‍ර වීම වළක්වාලීමටත් හැකි වීම ගැන තමන් සතුටු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ,මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

    අලුත්ගම,මතුගම,අගලවත්ත ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතියට මුල් ගල් තැබීමෙන් අනතුරුව කෙත්හේන පැවති විශාල ජනහමුව අමතමින් අමාත්‍ය රවුෆ් හකිම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහි දී වැඩි දුරටත්  දැක්වූ අමාත්‍යවරයා;

    මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙරම පානීය ජලයට ලුණු මිශ්‍ර වීමේ ප්‍රශ්නය විසඳීම සඳහා කළු ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීමට තාක්ෂණික වශයෙන් එය ඉටුකරගන්නා ආකාරය සාකච්ඡා කළ නමුත් එය නගර සැලසුම් අමාත්‍යාංශය මගින් ඉටුකරනවා නම්,ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තුමේන්තුවෙන් අනුමැතිය ලබා ගත යුතුයි.එය නොලැබුණු හෙයින් මෙම ප්‍රශ්නය විසඳීමට මෙම ව්‍යාපෘතිය නව මුහුණුවරකින් ආරම්භ කිරීමට සිදු විය.

     

    මේ ව්‍යාපෘතියට ජලය ලබා ගන්නා ස්ථානය ඈතකට ගෙන ගොස් ඇත්තෙමු. මෙම ව්‍යාපෘතියෙන් වතුරට ලුණු මිශ්‍රවීමේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් හැටියට තවත් අවුරුදු දෙකකින් විසඳුමක් ලබා දීමට හැකි වීම ගැන ද සතුටු විය හැකිය.

    2020 වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කර මෙය ජනතා අයිතියට ලබා දීමට හැකිවන අතර එතෙක් අප රජය පවතී යනුවෙන් මා විශ්වාස කරනවා. 2020 මුලින් ම ජනාධිපතිධූර කාලය අවසන්වනවා ඊට පසුවත් අපේ පාර්ලිමේන්තු කාලය අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවේ යැයි බලාපොරොත්තු වෙනවා.මීට අමතරව මෙම දිස්ත්‍රික්කයේ දුර ගම්මානවල පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමටත් අපි පියවර ගන්නවා.

     

    ඒ සඳහා භාණ්ඩාගාරයෙන් මම විශේෂ ප්‍රතිපාදන ඉල්ලුම් කර තිබෙනවා.එය සාර්ථක වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. මෙම වසර තුළ රජය මෙවැනි විශාල ජල
    ව්‍යාපෘති 10ක් දැනටමත් ආරම්භ කර තිබෙන අතර තවත් ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා ලබන වසරේ තවත් ව්‍යාපෘති කීපයක් සැලසුම් කර, දියත් කිරීමට හැකිවෙයි කියා විශ්වාස කරනවා.


    මේ ව්‍යාපෘති සියල්ල අපට සාර්ථකව ආරම්භ කිරීමට ලැබුණානම් මෑත යුගයේ වැඩිම ජල ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය ලබා දුන් ආණ්ඩුව අපේ ආණ්ඩුව බවත් කියන්න කැමතියි.මේ තරම් විශාල මුදලක් පානීය ජලය ලබා දීම වෙනුවෙන් පසුගිය දශක කිහිපයක් තුළ බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් සිදුකර නැත.ජල සම්පාදන මණ්ඩලය 1974 පටන් ගත්තා එදා පටන් අද දක්වා පැවති රජයන් අතර අවුරුදු 03ක කාලයක් තුළ මේ තරම් විශාල ආයෝජනයක් කිසිදු රජයකින් ලබා දී නොමැත.මේ පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැතිවුවත් අප මෙය කරන්නේ ඉතා අමාරුවෙන්.

    ජල සම්පාදන මණ්ඩලයට රජයෙන් කිසිදු ප්‍රතිපාදනයක් ලබා දෙනු නොමැත.නමුත් දේශීය හෝ විදේශීය ණය ලබා ගෙන මෙම ව්‍යාපෘතීන් දියත් කරනවා එම නිසා ආපසු පියවීම පිළිබඳව ද සැළකිලිමත් විය යුතුයි.

    අපි දැනට නළ මාර්ගයෙන් පානීය ජලය ලබා දෙන්නේ අපේ ජනගහනයෙන් හරි අඩකට පමණයි.නළ මාර්ගික පිරිසිදු පානීය ජලය ජනගහනයෙන් තවත් අඩකට ලබා දීමට නම් රට පුරා තව තවත් ජල ව්‍යාපෘති ඇති කිරීමට ආයෝජනය අවශ්‍ය වී ඇත.

    විශේෂයෙන් ඉන්දියානු රජයට ස්තූතිවන්ත වෙන්න ඕනෑ දැනටමත් ණය වශයෙන් ඩොලර් මිලියන 500ක් වැනි මුදලක් අපට ලැබී තිබෙනවා. ලබා දෙන ණය සහන ක්‍රමයට ලබා ගැනීම සඳහා අවුරුදු දෙකකට කලින් ලංකාවට සංචාරය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවෙන් ලබා දෙන ණය සඳහා අය කරන පොලී අනුපාතය අඩුකරන්න කැමැත්ත ලබා දුන්නා.දැනට ඉන්දියානු සමාගම් කීපයක් මෙම ක්ෂෙත්‍රය් කොන්ත්‍රාත්කරුවන් වශයෙන් අප රටේ කටයුතු කරනවා.තවත් ඉන්දියානු මුල් පෙළ සමාගම් කීපයක් එකතු වී මෙම ජල සම්පාදන ක්‍රම සංවර්ධන කිරීමට විශාල දායකත්වයක් ඉටුකරනවා.

     

    මේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගිය ආණඩු කාලේ විශාල ගැටලුවලට මුහුණපාන්න සිදු වුණා. කලින් ආණ්ඩුවේ ඉරණම තීරණාත්මක වූයේ මෙම දිස්ත්‍රික්කයේ ඇති වූ සිදුවීම් වලින් බව අපි දන්නවා.ඉන් පසුව මෙම රජය බලයට පත් වීමත් සමග ම ජාත්‍යන්තර රටවල් අතර ඇතිකරගත් සුහදතාවය නිසා වෙනත් රටවල්වලින් ආධාර ලබා ගැනීමට අපට පහසු වුණා.

     

    අනතුරුව ජාත්‍යන්තර රටවල් අතර ඇතිකරගත් සුහදතාවය නිසා වෙනත් රටවලින් ආධාර ලබා ගැනීමට අපට පහසුවුණා. දැන් අපට බටහිර ලෝකයෙන් ඕනෑ තරම් ණය ලබා ගැනීමට පුළුවනි. දැන් අපිට ඕන තැනකින් ණය ගන්න පුළුවන් වී තිබුණත් ඒ ණය ආපසු ගෙවීමට ඇති හැකියාව පිළිබඳව ද සොයා බැලිය යුතුයි. නිසි ආකාරයට අප රටේ ආර්ථීක තත්වය හැසුරුවීම පිළිබඳ ව අපට අභියෝගයක් තියෙනවා.ඒ අභියෝගය අතර විශේෂයෙන් යටිතල පහසුකම් වෙනුවෙන් වැඩි වැඩියෙන් ආයෝජනය කිරීම සඳහා සංවර්ධන ව්‍යාපෘති ඇතිකිරීමේ විශාල සැලුසුම් තිබෙනවා.රටවල් ගණනාවකින් අපට ලැබෙන ඒ දායකත්වය අපට තිබෙන ගැටලු විසඳීමට යම්දුරකට සහනයක් වී  තිබෙන බවද අමාත්‍යවරයා කීය.

     ඉන්දීය එක්සිම් බැංකුවේ සහ ලංකා බැංකුවේ පිළිවෙළින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 24 ,285.00ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 4286.00ක ණය ආධාර සහ ශ්‍රී ලංකා ජනරජයෙන් රුපියල් මිලියන 3 ,707.00 දායකත්වයෙකන් (මුළු එකතුව රුපියල් මිලියන 32 ,278.00 )මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ,ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු අයන් එක්ස්චේන්ජ් ඉන්දියා පුද්ගලික සමාගමයි.

    නව ජල සම්බන්ධතා 32 ,000ක් ලබාදෙමින් වසර 2020 වන විට 300 ,000 කට ද වසර 2030 වන විට 573 ,000කට ආසන්න ප්‍රතිලාභීන් පිරිසකගේ ජල සම්පාදන සේවා තත්වයන් ඉහළ නැංවීම යෝජිත ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ. මෙහි ධාරිතාව දිනකට ඝන මීටර 78 ,705ක නව ජල තුමුළුවක් නාහල්ල කොලේමෝදර .කුඩා ගඟ ඉවුරේ ඉදිකිරීමෙන් සහ කෙත්හේන ජල පවිත්‍රාගාරය දක්වා නව ජල සම්ප්‍රේෂණ පද්ධතියක් එකතු කිරීම මඟින් ප්‍රදේශවාසීන්ගේ දැවෙන ප්‍රශ්නක් වන පානීය ජල මූලාශ්‍රයන්ට ලුණු එකතු වීම වැලැක්වීමට පියවර ගැනීම මෙහි ප්‍රධාන භූමිකාවක් බවට පත් ව ඇත.

     

    යෝජිත මෙම ව්‍යාපෘතියට පහත සඳහන් අංගයන්ගෙන් සමන්විතය.කොලේමෝදර දිනකට ඝන මීටර 78 ,705ක නව ජල තුමුළුවක් සහ කෙත්හේන ජල පවිත්‍රාගාරය දක්වා නව ජල සම්ප්‍රේෂණ පද්ධතියක් ස්ථාපනය කිරීම ,කෙත්හේන දැනට පිහිටි තුළුමුව සහ කෙත්හේන දැනට පවතින ධාරිතාවය ඝන මීටර් 60,750 ජල පවිත්‍රාගාරය පුනරුත්ථාපනය කිරීම සහ දිනකට ධාරිතාව ඝන මීටර 13,500ක ජල පවිත්‍රාගාරයක් කෙතහේන පිරිපහදු පරිශ්‍රෙය් ඉදිකිරීම ,ධාරිතාවය පිළිවෙළින් ඝන මීටර 2000,1500වන රැස්කිරීමේ ජලාශ දෙකක් මතුගම සහ දොඩම්ගොඩ යන ප්‍රදේශයන්හි ඉදිකිරීම ,නෑබඩ , අගලවත්ත සහ මතුගම කන්ද යන ප්‍රදේශවල පිළිවෙළින් ධාරිතාවය ඝන මීටර 600,600සහ225වන ජල ස්තම්භ තුනක් ඉදිකිරීම ,දිගින් නි .මී.58ක් වන විෂ්කම්භය මි.මී 800 සිට 300 දක්වා වෙනස් වන  ජල නළවලින් සමන්විත ප්‍රධාන සැපයුම් ජල නළ එළීම , දිගින් කි.මී.260ක් වන බෙදාහැරීමේ ජල නල පද්ධතියක් ස්ථාපනය කිරීම ,කාර්යාල ගොඩනැගිලි සහ නිලධාරි / සේවක නිල නිවාස ඉදිකිරීම , ස්වයංක්‍රීය දත්ත පාලන පද්ධතියක් ස්ථාපනය කිරීම . මතුගම,දොඩංගොඩ,කලුතර,බේරුවල,අගලවත්ත,මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරි කොට්ඨාස 269ක් ආවරණය වන පරිදි  2020 දක්වා වසර 03ක කාලයක් පුරාවට නිර්මාණය කර නිම කිරීමට සැලසුම් කොට ඇති මෙම යෝජිත ව්‍යාපෘතිය මඟින් පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩා විඳි ජනතාවට සහනය ළඟා කරවීම නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඒකායන ප්‍රාර්ථනය බවද නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya