නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සමයත් සමග ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක්

    නොවැම්බර් 09, 2016
    පවතින වැසි සහිත කාලගුණය සහ කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි මාස කිහිපය තුළ ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 
     
    මේ හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත හෙට(10) සහ අනිද්දා (11) යන දෙදින මදුරු මර්දන වැඩසටහනක් කොළඹ දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. 
     
    2016 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 44,822 ක් හමු වී ඇති අතර, කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුරය, කෑගල්ල, යාපනය සහ මාතර යන දිස්ත‍්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. 2016 වර්ෂයේ සිදු කළ විවිධ වැඩසටහන් හරහා පරිශ‍්‍ර ලක්ෂ 20ක් පරික්ෂාවට ලක් කර ඇත. නිවාස ආශ‍්‍රිතව මදුරු කීටයින් බෝවන ස්ථානවල සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙයි. එහෙත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන, කර්මාන්ත ශාලා සහ ඉදිකිරීම් වැඩ බිම් මදුරු කීටයින් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. 
     
    ඩෙංගු මදුරු මර්දන කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශයේ පැවැති ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමේ දී ද විමසා බැලීය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කර පාසල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසයි. සියලු ම වැඩබිම් ද පරීක්ෂා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දැනුම් දෙන ලදි. ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා බඳවා ගැනීමට යෝජිත මදුරු මර්දන ක්ෂේත‍්‍ර පරීක්ෂකවරු 1500 කඩිනමින් බඳවා ගැනීමට ද මෙහිදී තීරණය කර ලදි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර, රාජ්‍ය කළමණාකරණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මෙම පිරිස කඩිනමින් බඳවා ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. 08 ශ්‍රේණිය සමත් තරුණ තරුණියන් එම තනතුරට බඳවා ගෙන අධීක්ෂණ නිලධාරීන් සමග ක්ෂේත‍්‍ර රාජකාරී සඳහා යොමු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ධූමායන කටයුතු විධිමත් කිරිමට එම ක්ෂේත‍්‍ර පරීක්ෂකවරුන් යොදාගැනීමට ද නියමිතය. එම නිසා බඳවා ගන්නා තරුණ තරුණියන් වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. 
     
    මෙම රැස්වීමට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා යන මහත්වරුන් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya