නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගයට හේතු සෙවීමට චීන රජයේ සහයෝගය

    නොවැම්බර් 02, 2016
    දිස්ත‍්‍රික්ක 12ක පැතිර පවතින වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සඳහා චීන රජයේ සහයෝගය මත පේරාදෙනිය විශ්වවිද්‍යාල භූමියේ පර්යේෂණායතනයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    චීන විද්‍යා පර්යේෂණායතනයට අනුබද්ධව පිහිටුවන මෙම පර්යේෂණායතනය සඳහා අක්කර 7 1/2 භූමියක් යොදාගනු ලබයි. ඒ සඳහා චීන රජයෙන් ලැබෙන මුදල ඇමරිකානු ඩෝලර් බිලියනයකි. සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා චීනයේ කළ සංචාරක දී එම පර්යේෂණායතනය ඉදිකිරීම සඳහා වූ ගිවිසුමට චීන විද්‍යා පර්යේෂණායතනය සමග අත්සන් කර ඇත. 
     
    මෙම ව්‍යාපෘතිය යටතේ ජංගම රසායනාගාර දෙකක්, වකුගඩු ශල්‍යකර්ම සිදු කිරිම සඳහා භාවිත කරන උපකරණ සහ වකුගඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම පිළිබඳ ව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා පුහුණුවක් ලබාදීම ද මෙහිදී සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. 
     
    ඇහැලියගොඩ දිසා රෝහලේ ඉදිකිරිමට යෝජිත පස්මහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 
     
    "වසරකට ලක්ෂ දෙකහමාරකට වඩා ප‍්‍රතිකාර ලබාගන්නා ඇහැලියගොඩ දිසා රෝහල මූලික රෝහලක් ලෙසට පරිවර්තනය කිරීමට අපි තීරණය කර තිබෙනවා. ඊට අදාල ගැසට් නිවේදනය ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි. යහපාලන රජයෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියටම රැගෙන යන බව මම මෙහිදී ප‍්‍රකාශ කරනවා. හෘද රෝගීන්ට ද නොමිලේ ස්ටෙන්ස් ලබාදිම, අක්ෂි රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබාදීම අප විසින් ගනු ලැබූ තවත් ඉතා වැදගත් තීරණ දෙකක් වෙනවා" යැයි ද කීය.
     
    රජයේ රෝහල්වලින් රෝගීන්ට ලබාදෙන්නේ හොඳම ඖෂධ බවත් එම ඖෂධ නිර්දේශ කර තෝරාගැනීමේ බලය ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ට බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා එම නිසා බාල ඖෂධ රජයේ රෝහල්වලින් නොදෙන බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ආපදා කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහත්වරු ඇතුළු දේශපාලනඥයන් රැසක් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිස් ද එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya