මෙම වැඩපිළිවෙළට අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාස 13,305ක යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 13,300ක් වන අතර ග්‍රාම නිලධාරී කොට්ඨාස 10,600ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම මත, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් සක්‍රියව ක්‍රියාත්මක වන ප්‍රජාමුලික සංවිධාන වල ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටු හරහා ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාපෘති හඳුනා ගැනීම සිදු කරයි.
ප්‍රජා මුලික ජලසම්පාදන ව්‍යාපෘති, විදුලි ව්‍යාපෘති, ග්‍රාමීය මාර්ග, ග්‍රාමීය පාලම්, බෝක්කු සහ සපත්තු පාලම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති මෙන්ම කුඩා වාරි මාර්ග ව්‍යාපෘති ඇතුළු භෞතිකමය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අංශයන්ට අයත් ව්‍යාපෘති අදාළ කමිටු මගින් තෝරාගත යුතුය.
එලෙස තෝරා ගැනීමේදී ග්‍රාම නිලධාරී කොට්ඨාසය තුළ ප්‍රමුඛ අවශ්‍යතාවයන් පිළිබිඹු වීම, ආර්ථික සහ සමාජීය සංවර්ධනයට මෙන්ම රැකියා උත්පාදනයට දායක වීම, ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජනතාවගෙන් බහුතරයකට ප්‍රතිලාභ හිමිවීම, ග්‍රාමීය ජීවනෝපායන් වැඩිදියුණු කිරීම යන නිර්ණායක සලකා බලනු ලබයි.
තෝරාගනු ලබන ව්‍යාපෘති, මහජන නියෝජිතයින්ගෙන් සැදුම් ලත් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු මගින් අනුමත වීමෙන් අනතුරුව ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කෙරෙන අතර ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් අදාළ ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කිරීම සිදුවේ.
ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම ලංසු කැඳවීම සහ කොන්ත්‍රාත් ලබාදීම මෙන්ම ඉදිකිරීම් නිරීක්ෂණය ද සිදුකරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ගමට සංවර්ධනය ජාතික වැඩසටහන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසින් අධීක්‍ෂණය කරනු ලබයි.