මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැබෑ මානවවාදීන් ගොඩනැගෙන්නේ සමාජය සමඟ ගැටෙමින් ඉදිරියට යන දුෂ්කර ජීවිත තුළින් - ජනපති කියයි

    පෙබරවාරි 25, 2015
    සැබෑ මානවවාදීන් ගොඩනැගෙන්නේ සුව පහසු සුඛෝපභෝගී ජීවිත තුළින් නොව සමාජය සමඟ ගැටෙමින් ඉදිරියට යන දුෂ්කර ජීවිත තුළින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    සැබෑ මිනිසෙකු ලෙස මිනිසුන්ට සෙවණ දිය හැක්කේ සමාජයේ දුක්ගැහැට විඳි, දුක, කඳුළු වේදනාව පිළිබඳ අත්දැකීම් ඇති අයෙකුට පමණක් බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ වාර්ෂික සහතිකපත‍්‍ර ප‍්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ (24) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී එක්වෙමිනි.
     
    අධිෂ්ඨානය, වීර්යය සහ කැපවීම තුළින් ජීවිතය ජය ගැනීමට අපේ දරුවන් කටයුතු කළ යුතු බව ද පැවසූ ජනාධිපතිතුමා බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ජනාධිපති ධූරය දක්වා පැමිණි තම ජීවිතය අධිෂ්ඨානය, වීර්ය, කැපවීම පිළිබඳ දරුවන්ට මහඟු ආදර්ශයක් සපයන බව ද කියා සිටියේ ය.
     
    සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ 2013-2014 අධ්‍යාපන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව සරසවි වරම් ලැබූ සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් සක්යා සරසවි අභිෂේක මංගල්‍යය නමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
     
    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනයක් ලෙස සක්යා උසස් අධ්‍යාපන ආයතනය දැයේ දරුවන් වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන බවයි. 
     
    පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සියඹලාපිටිය මහතා ද සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති බණ්ඩාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     
    උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.
     
    සක්‍යා උසස් අධ්‍යාපන ආයතනයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට මා එක්වන්නේ හත් වෙනි වතාවට. මගේ මතකයේ හැටියට හය වෙනි වතාවට මේ උත්සවය පැවැත්වුණේ බොරලැස්ගමුව ප‍්‍රදේශයේ. හත් වෙනි වතාවටත් ඔබත් සමඟ එක්වන්නට ලැබීම පිළිබඳ ව මම ඉතාමත් සතුටට පත්වෙනවා.
     
    බණ්ඩාර දිසානායකයන් සමඟ මගේ තිබෙන්නේ දීර්ඝ කාලීන හිතවත්කමක්. බණ්ඩාර දිසානායක මහත්මයා මගේ සහෝදරයා සමඟ සරසවියේ එකට ඉගෙන ගත්තු බොහෝම හිතවත් මිත‍්‍රයෙක්. ඒ නිසා ඔහු ඒ කාලේ ඉඳලා අපේ ගෙදරට ආගිය කෙනෙක් විදිහට ඔහු ආ ගමන් මගත් මා පැමිණි ගමන් මගත් ආදරණීය දරුවනේ මම විශ්වාස කරනවා ඔබේ ජීවිතයට විශාල ආදර්ශයක් කියලා. 
     
    විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයන්, ප‍්‍රමුඛයන්ගේ ප‍්‍රමුඛයන් සක්‍යා සරසවි අභිෂේක මංගල්‍යයේදී අද අභිෂේක ලබනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය තුළ හැදුනු වැඩුනු ඉදිරියට ආ ඔබ මේ රටේ මහා පින්වන්ත දරුවන් ලෙස මා දකින්නේ. ඔබේ භාග්‍යවන්තභාවය, ඔබේ පින්වන්තභාවය ඔබේ අපේ උතුම් මාතෘ භූමියට විශාල දායාදයක් සහ ශක්තියක්.
     
    බොහෝ වෙලාවට ජීවිතවල හැඩගැස්ම එක් පැත්තකින් අධ්‍යාපනය තවත් පැත්තකින් සමාජයේ ගැටෙමින්, දැවෙමින්, පැටලෙමින්, හැකිලෙමින්, පිබිදෙමින් ගොඩනැගෙන ජීවිතය. ඒ සියල්ලත් එක්ක තමයි ලෝකයේ සැබෑ මිනිසුන් මිනිසුන්ට සෙවණ දෙන්නට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මා විශ්වාස කරනවා දෙමව්පියනි, ඔබේ පින්වන්ත දරුවන් අනාගතයේදී මේ රට ලෝකය මුළු මහත් සමාජය භාරගන්නා විට මේ ලබන අධ්‍යාපනය, දැනුම, අවබෝධය, අත්දැකීම් තුළින් අපේ සමාජයේ ප‍්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨයන් වගේම විශිෂ්ටයන් බවට පත්වෙයි කියලා.
     
    බොහෝ වෙලාවට පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක වෙන්නේ අතීතයේදී ලබන දුෂ්කර ඒවගේම කටුක අත්දැකීම් එක්කයි. මහා සැප සම්පත් තිබෙන සුඛෝපභෝගී ජීවිත තුළින් ඉතාම කලාතුරකින් තමයි මිනිසුන් අතරට මිනිස්සු බිහිවෙන්නේ. ඒ නිසා ආදරණීය දරුවනේ, මේ ඔබේ ජීවිතයේ ආරම්භය. මේ ඔබේ ජීවිතයේ ප‍්‍රවේශය. මේ ජීවිතය ඔබ එක් පැත්තකින් අධ්‍යාපනයෙන් ලබන ජයග‍්‍රහණය සහ විශිෂ්ටත්වය. තවත් පැත්තකින් යෞවනත්වය, තාරුණ්‍යය, බලාපොරොත්තු, අධිෂ්ඨානය, ඒ සියල්ලත් සමඟයි ඔබේ ජීවිතය ගොඩනැගෙන්නේ. ඒ නිසා ඔබට මහා වාසනාවන්ත අනාගතයක් තිබෙනවා.
     
    මගේ මතකයේ හැටියට සක්‍ය ආයතනය බිහිවෙන්නේ 1999 වසරේ. ගෙවී ගිය වසර 15කට වැඩි කාලයක් තුළ මේ දරුවන් වගේම දරුවන් ලක්ෂ ගණනක් අපේ මාතෘභූමියේ සැබෑ උරුමකරුවන් කරමින් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ගොඩනගන්නට මහත් ශක්තියක් සහ අත්වැලක් වී තිබෙනවා. වසරකට 10,000ක් පමණ සිසුන් සක්‍යා ආයකනයේ අධ්‍යාපනය ලබනවා.
     
    බොහෝ වෙලාවට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ගත් විට රාජ්‍ය නොවන ආයතනවල අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තරගකාරිත්වයක් තිබෙන බව අපට පේනවා. ඒ තරගකාරිත්වය තුළ සැබෑ නිවැරදි ව්‍යවසායකයන් විදිහට ඒ ආයතනවල අධිපතිවරුන් තමන්ගේ නිර්මාණශීලීභාවයන්, දක්ෂතාවයන්, දක්ෂ කළමනාකාරීත්වය, දක්ෂ පරිපාලනය ඒ තුළ තමන්ගේ ආයතන විශිෂ්ටත්වයට පත් කරනවා. ඒ නිසා සක්‍යා ආයතනය අපේ රටේ රාජ්‍ය නොවන ආයතනයක් විදිහට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉතාමත්ම ඉහළ තැනකයි සිටින්නේ. මම මීට පෙර කෘෂිකර්ම ඇමතිවරයා විදිහට, සෞඛ්‍ය ඇමතිවරයා විදිහට පසුගිය වසර 06 ක කාලය තුළ මේ වැදගත් උත්සව සභාවට සහභාගි වුණා.
     
    මට මතකයි ගිය අවුරුද්දෙත් මේ උත්සව අවස්ථාවට එන්න කියලා දිසානායක මහත්තයා මට ආරාධනා කළා. ඒ වෙලාවේ මම කිව්වේ මේ අවස්ථාවට අධ්‍යාපන ඇමතිතුමා ගෙන්න ගන්නවා නම් නේද හොඳ කියලා. නමුත් ඔහු ඒ සෑම අවස්ථාවකම මට කිව්වේ නෑ ඔබතුමා තමයි එන්න  ඕනෑ කියලා. ඉතින් මම හිතන්නේ ඔබත් සමඟ හත් වෙනි ත්‍යාග ප්‍රදානෝත්වයට එක්වන්නට ලැබීම මම දකින්නේ මේ ආයතනයේ, දරුවන්ගේ වාසනාවක් සහ මගේ වාසනාවක් විදිහටයි.
     
    ඒ නිසා ආදරණීය දරුවණේ, ඔබේ අධිෂ්ඨානශීලීභාවය තුළ ඔබේ සිතුම් පැතුම් සාර්ථක කරමින් අපේ උතුම් මාතෘ භූමිය තුළ වගේම ජාත්‍යන්තරය තුළ ඔබේ හැකියාවන්, දක්ෂකම්, නිර්මාණශීලීභාවයන් එළිදක්වන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබේ ප‍්‍රධාන මහජන සේවකයා විදිහට මගෙන් ඔබට විය යුතු සෑම දෙයක්ම ඉටුකරන බව ප‍්‍රකාශ කරන්නට  ඕනැ.
     
    මා මිත‍්‍ර හිතවත් බණ්ඩාර දිසානායකයන් වාණිජ්‍ය ආයතනයක තිබෙන ස්වරූපයට වඩා රටක දරුවන්ගේ අනාගතය සඳහා විශිෂ්ට වූ මෙහෙවරක් ඉටුකරන්නේ. ඒ නිසා ඔබේ උත්සාහය, ව්‍යායාමය සහ අධිෂ්ඨානශීලීභාවය අපේ උතුම් මාතෘ භූමියේ දරුවන් වෙනුවෙන් කැපකිරීම පිළිබඳව මම සතුටු වෙනවා.
     
    දරුවනේ, ඔබට ශක්තිය දෙන, ඔබට ධෛර්යය දෙන ඔබේ දේශකවරුන්, උපදේශකයන්, කළමනාකාරිත්වය, අධ්‍යක්ෂක මණ්ඩලය, ඒ සියලු දෙනාටත් මේ දරුවන්ටත්, දෙමව්පියන්ටත් ඔබ සෑම කෙනෙකුටම මම ඉතාමත් සෙනෙහෙබර ලෙස ගෞරවනීය ලෙස සුබපතනවා.
     
    දරුවනේ, ජනාධිපතිවරයා විදිහට මම ආවේ ඔබට සුබ පතන්නයි. ඔබට ගෞරව කරන්නයි. ඔබ විශිෂ්ට ප‍්‍රතිඵල දැක් වූ නිසයි. අධ්‍යාපන සහතිකය තුළින් ඔබ දක්වන විශිෂ්ටත්වය ඔබේ ජීවිතය ජයග‍්‍රහණය කරන්න බොහෝ සේ ඉවහල් වෙන බව මම දන්නවා. විභාගයෙන් සමත් වුණා වගේම ජීවිතයෙන් සමත් වෙන්න ඔබට වාසනාව තියෙන බව මම විශ්වාස කරනවා.
     
    නැවත වතාවක් ඔබ සියලුදෙනාට සුබ පතමින් ආශිර්වාද කරමින් මේ සක්‍යා උසස් අධ්‍යාපන ආයතනය සියලු ආකාරයෙන්ම උසස් තත්ත්වයට පත් වේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා වගේම සක්‍යා ආයතනය තුළ ඉගෙනුම ලබන දරුවන් අපේ උතුම් දේශය තුළ සහ ජාත්‍යන්තරයේ මහා විශිෂ්ටයන් සහ ශ්‍රේෂ්ටයන් බවට පත් වේවා කියලා මා සුබ පතනවා.
     
    ඔබ සැමට තෙරුවන් සරණයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya