මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා ගතහැකි සෑම පියවරක් ම ගන්නවා - ජනපති අවධාරණය කරයි

    පෙබරවාරි 24, 2015
    අනුරාධපුර, පොලොන්නරුව ප‍්‍රදේශවල පමණක් නොව දීප ව්‍යාප්තව පැතිර යමින් රටට ම අභියෝගයක් වී ඇති වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගැනීම සඳහා රජයක් ලෙස ගතහැකි සෑම පියවරක් ම ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය. 
     
    වකුගඩු රෝගයේ පසුබිම මැනවින් තේරුම් ගත් රජයක් ලෙස රට තුළට ගෙන එන කෘෂි රසායන ද්‍රව්‍යයන් නිසි ප‍්‍රමිතියකින් යුතුව පමණක් ගෙන්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය. සුදුසු දේ තෝරා ගැනීමටත් නුසුදුසු දේ ප‍්‍රතික්ෂේප කිරීමටත් නව රජය පැහැදිලි තීන්දු තීරණවලට එළඹ තිබෙන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා බහුජාතික සමාගම්වලට යටවීමට කිසිසේත් ම සූදානම් නොමැති බව අවධාරණය කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ දින 100 වැඩපිළිවෙළට සමගාමීව වකුගඩු රෝගයේ හේතුකාරක පිටුදැකීම මැයෙන් ඊයේ (23) පස්වරුවේ පදවිය මහසෙන් විදුහලේ පැවති උත්සවයට එක්වෙමිනි.
     
    පදවිය මූලික රෝහලේ වකුගඩු රෝග නිවාරණ ඒකකය සඳහා මුල්ගල් තැබීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ඉන් අනතුරුව පදවිය මහසෙන් විදුහලේ පැවති මෙම උත්සවයේ දී උතුරු මැද පළාතේ රෝහල් සඳහා රුධිර කාන්දු යන්ත‍්‍ර, සෞඛ්‍ය සේවා රථ සහ රසායනික උපකරණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    උත්සව සභාව වැඩිදුරටත් ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටක් ලෙස ඉදිරියට යාමේ දී දේශීයත්වට මුල් තැන දෙන අතර ම වාණිජ්‍ය සමාජය තුළ ජාත්‍යන්තරයෙන් එන අභියෝගවලට ද සාර්ථකව මුහුණ දීමට රජය සූදානම් බවයි. රටේ අසරණ ජනතාවට ඇති වන රෝගි තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ජනතාව වෙනුවෙන් බහුජාතික සමාගම් පමණක් නොව  ඕනෑම ආයතනයක්, පුද්ගලයෙක්, සංවිධානයකට එරෙහි ව පෙනී සිටීමට තමා සූදානම් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. 
     
    කෘෂිකර්ම කටයුතුවල දී කාබනික පොහොර සඳහා මූලිකත්වය ලබාදීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පාරම්පරික සිරිත් විරිත්, ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් අපේ කෘෂි අස්වනු වැඩිදියුණු කර ගැනීමට කටයුතු කළ යුතු බව ද කියා සිටියේය.
     
    සංවර්ධන කි‍්‍රයාදාමයේ දී ගමට මුල්තැන ලබාදෙන අතර ග‍්‍රාමීය ජනතාවගේ දුගී බව තුරන් කරන, පොදු මහජනතාව වෙනුවෙන් වූ සංවර්ධන කටයුතුවලට ප‍්‍රමුඛත්වය ලබාදෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    පසුගිය රජය කි‍්‍රයාත්මක කළ යෝධ සංවර්ධන ව්‍යාපෘති තුළින් පොදු මහජනතාව ලැබූ ප‍්‍රතිලාභ ඉතා අල්ප බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නව රජය ප‍්‍රමුඛත්වය ලබාදෙන්නේ සුළු හා මධ්‍යම පරිමාන සංවර්ධන ව්‍යාපෘති සඳහා බවත් කෙටි කාලීන සහ මධ්‍ය කාලීන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර ග‍්‍රාමීය ජන ජීවිතය වඩාත් අර්ථවත් කර ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීමට කටයුතු කරන බවද පැවසීය. 
     
    අමාත්‍යවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, පී. හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරලියැද්ද යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද මීට එක්ව සිටියහ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya