නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සටනට උරදුන් වැඩි ජනතාවක් හමුදාවේ හිටියේ වයඹ පළාතේ - ජනපති

    දෙසැම්බර් 17, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම-වීඩියෝ/ඡායාරූප) යුද්ධය අවසන් කර මුළු රටම සන්තෝෂ වෙන දවසෙත් වැඩියෙන්ම සන්තෝෂ වුණේ මේ වයඹේ ජනතාව බව තමා විශ්වාස කරන බවත් සටනට උරදුන්නු වැඩි ජනතාවක් හමුදාවේ හිටියේ වයඹ පළාතේ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (17) කුලියාපිටියේ දී පැවසීය.

    අතිවිශාල ජනතාවගේ සහභාගීත්වයෙන් කුලියාපිටියේ ශාලිකා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පස්වැනි ප්‍රධාන ජන රැලිය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

     

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දොඩම්ගස්ලන්ද ප්‍රධාන සංවිධායක එස්.එම්. සෆ්රාස් මහතා සහ ප්‍රධාන ලේකම් එස්.බී. ඒකනායක යන මහත්වරුන් ජනාධිපතිතුමාට සහය පළ කරමින් වේදිකාවට පිවිසීම ද එහිදී සිදු විය.

     

    ජනරැලිය අමතමින් ජනාධිපතිතුමා; “මේ අතිවිශාල දැවැන්ත ජනරැලිය දැක්කම 8 වෙනිදා ජයගන්නේ කවුද කියන එක අද ජනතාවටම පෙනෙනවා ඇති. 2005 දී අපි බලයට ඇවිල්ලා තමුන්නාන්සේලා මගෙන් එක ම ඉල්ලීමයි කළේ. මේ යුද්දය නවත්වන්න. රට බෙදන එක නවත්තන්න. වෙන මොනවත් ඉල්ලුවේ නැහැ මගෙන්. මේ රට නිදහස් කරලා දෙන්න, මේ බෝම්බ පිපිරෙන එකෙන්. ඒ සඳහා දුන්න පොරොන්දුව 2009 දී අවුරුදු 4ක් යන්න කලින් තමුන්නාන්සේලාට ලබාදීලා රට නිදහස් කර ගත්තා. එදා මුළු රටම සන්තෝෂ වෙන දවසෙත් මම විශ්වාස කරනවා වැඩියෙන්ම සන්තෝෂ වුණේ මේ වයඹේ ජනතාව කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒ සටනට උරදුන්නු වැඩි ජනතාවක් හමුදාවේ හිටියේ තමුන්නාන්සේලාගේ සහෝදර සහෝදරියන් දුවා දරුවන් කියන එක අපි මතක තියා ගන්න ඕන.

     

    ඒ නිදහස ලැබිලා අපි තමුන්නාන්සේලාගේ රට සංවර්ධනය කරන්න පියවර ගත්තා. ඒ අනුව තමුන්නාන්සේලා සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් අපි දියත් කළා. මේ වියළි කලාපයේ නියඟය පරාජය කිරීම සඳහා අපි දැදුරුඔය මහා ව්‍යාපාරය ආරම්භ කළා. ඒ වැඩ අවසන් කරලා දැන් තියෙන්නේ ඇළවේලි ටිකෙන් ජලය ලබාදෙන එක විතරයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වතුර ටික ගොවි ජනතාවට ලබාදීමට කරපු සේවය මං හිතන්නේ මේ පළාතට සිදු කළ විශාලම සේවයක් හැටියට මම දකිනවා.

     

    පහුගිය කාලේ මේ මුළු රටේම තිබිච්ච වැව් අමුණු ටික හදලා ගොවි ජනතාව වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් දියත් කළා. රට සංවර්ධනය කරන වැඩපිළිවෙළත් එක්ක අද ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. තමුන්නාන්සේලාට තිබුණු අඩුපාඩු එකින් එක ලබාදෙන්න අපි වැඩපිළිවෙළක් සකස් කළා. මහපාරවල් ටික හැදුවා. මං හිතන්නේ මේ රටේ වැඩියෙන් ම කොන්ක්‍රීට් පාරවල්, කාපට් පාරවල් තියෙන්නේ ඔබේ පළාතේ. අද මම එනකොට මෙතෙන්ට එදා මම ආපු පළාතට නෙමෙයි එන්නේ. මේක අලුත් වෙලා අඳුරන්න බැරි තත්ත්වෙකට පත් වෙලා තියෙන නගරයක් අද. ඒක තමයි රටක වෙනස. දැන් අපි ඒ 2010 සංවර්ධන වැඩපිළිවෙළ දියත් කරලා උපාධිධාරීන්ට රැකියා ටික ලබාදීලා එක්ලක්ෂ දහදාහකට. හැම අංශයකින් ම රැකියා අවස්ථාවල් ලබා දීලා උසස්පෙළ සමත් අයට, විද්‍යා විෂයයෙන් සමත් අය සියලු දෙනාට එක්කෝ විශ්වවිද්‍යාලවල, එක්කෝ විද්‍යාපීඨවල එහෙම නැතිනම් හෙදි පත්වීම් හෝ වෙනත් පත්වීම් ලැබිලා. විද්‍යාවෙන් සමත් අය විරැකියාවේ නැහැ දැන්. මේක තමයි මේ අලුත් වැඩපිළිවෙළ. දැන් අපි මේ ගිය අයවැයෙන් තවත් තරුණ තරුණියෝ එක්ලක්ෂ පනස්දාහකට රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කළා. ඒකට සල්ලි වෙන් කරලා තියෙනවා. මේ සඳහා තමුන්නාන්සේලා සූදානම් වෙන්න ඕන. අපේ දැන් බලාපොරොත්තුව මොකක්ද ? අවුරුදු 4කට පස්සේ අපි ඇවිල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අකුරට පිළිපදින්න, මට අවුරුදු හයක් තිබ්බා. ඒ හය ඉන්නේ නැතිව අවුරුදු හතරකදී තමුන්නාන්සේලා ඉදිරියට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය, තමුන්නාන්සේලාගේ මතය අපි දැන ගන්න ඕන.

     

    දැන් අපිට තියෙනවා ඊළඟ පියවරට යන්න. රටට ඉදිරි ගමනක් තියෙනවා. මේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යන්න ඕන. අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ඒක ආපස්සට හරවන්න ඉඩදෙන්න බැහැ. ඒ නිසා තමුන්නාන්සේලා අපි එක්ක අත්වැල් බැඳගෙන මේ රට ගොඩනඟන්න අපි සූදානම් වෙන්න ඕන. ඒ වගේ ම මේ රට තුළ විනය ගරුක සමාජයක්. අම්මට තාත්තට සලකන වැඩහිටියන්ට සලකන. පන්සලට පල්ලියට කෝවිලට යන සාරධර්මවලින් පිරිණු තරුණ පිරිසක් ඇති කිරීමට, ඔබේ දරුවන්ට වඩා හොඳ ආරක්ෂිත රටක් ඇති කරන්නට පියවර ගැනීමේ වගකීම මට තියෙනවා. ඔබේ දරුවන්, නූපන් දරුවන් වෙනුවෙන් රට ආරක්ෂා කරන්න ඕන. මේවා නැවත කෑලිවලට කැඩෙන්න නැවත ත්‍රස්තවාදය මේ රට තුළ ඇති කරන්න, ජාතිවාදය ආගම්වාදය ඇති කරලා ඉරාකයේ, ලිබියාවේ, ඊජිප්තුවේ, සිරියාවේ එහෙම නැත්නම් වෙන විදියට මේ රටවල් අස්ථාවර කරන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ කියන එක අපි මතක් කරන්න ඕන.

     

    ඒ නිසා ඔබ සූදානම් වෙන්න මේ රට රැක ගන්න. ඒ සඳහා ඔබ අප සමඟ අත්වැල් බැඳගන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා සියලු දෙනා අත්වැල් බැඳගෙන අපි ඔක්කොම මේ එක්සේසත් කරපු රට රැක ගන්න ඔබට තියෙන්නේ 8 වෙනිදාට බුලත් කොලය ඉදිරියේ කතිරය ගහලා තමුන්නාන්සේලා මේ රට දිනවන්න. ඒ ඔබේ දිනුමයි කියන එක මතක තියාගන්න. එසේ කියමින්  ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් පතමින් සුරක්ෂිත රටක් තුළ ඔබේ දරුවාට වඩාත් හොඳ හෙටක් බිහිකරමු ඒ සඳහා අත්වැල් බැඳගනිමු. ඔබ සියලු දෙනාට ම සුභ අනාගතයක්!."

     

    අමාත්‍යවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී. ඒකනායක, විමල් වීරංශ, එස්.බී. නාවින්න, තිස්ස අත්තනායක, වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වයි.ජී. පද්මසිරි, ඉන්දික බණ්ඩාරනායක, පා.ම. ශාන්ත බන්ඩාර, වයඹ පළාත් සභාවේ හිටපු මහ ඇමති අතුල විජේසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහත්වරු ද මෙම ජන රැලිය ඇමතූහ.

     

    HC/Pix By : Sudath Silva

    kuliyapitiya President attends campaign meeting 1

     

    kuliyapitiya President attends campaign meeting 2

     

    kuliyapitiya President attends campaign meeting 3

     

    kuliyapitiya President attends campaign meeting 4

     

    kuliyapitiya President attends campaign meeting 5

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya