අපනයන ක්ෂේත්‍රයේ නියැළී සිටින අයට මේ මඟින් විශාල වාසියක් ලැබෙනවා. නැතිනම් අපේ භාණ්ඩ පිටරට යැවීමේදී තවත් රටකට ගෙන ගොස් එම සහතිකය ලබා ගන්න තමයි තිබුණේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. කැලණියේ ස්ථාපිත කර තිබෙන නිර්විකිරණ මධ්‍යස්ථානය මඟින් ඉදිකිරීම් විප්ලවයට අවශ්‍ය සහතික ලබාදෙනවා. ඉදිකිරීම්වල තිබෙන පළුදු සොයා බලා ඊට අදාළ පිළියම් කිරීමට මේ ආයතනය මඟින් හැකිවෙනවා යැයි ද ඔහු කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කරමිනි.
නව පනත මඟින් පරමාණුක බලශක්ති අධිකාරිය, පරමාණුක බලශක්ති මණ්ඩලය හා පරමාණු බලශක්ති නියාමනය සභාව නමින් ආයතන දෙකක් පිහිටුවීමට අප බලාපොරොත්තු වෙනවා. 1969 අංක 16 දරන පරමාණු බලශක්ති පනත සංශෝධනයක් ලෙස මෙය සකස් කර තිබෙන අතර අන්තර්ජාතික පරමාණුක නීතීරීතිවලට අනුකූලවයි මේ පනත සකස් කළේ. පරමාණුක බෝම්බ සෑදීමට හෝ විනාශකාරී දේ සිදුකිරීමට මේ පනතින් ම අවහිර කර තිබෙනවා.
විද්‍යත්මක රැකියා ක්ෂේත්‍රය මේ මඟින් ඉහළට ඔසවා තැබිය හැකියි. සෞඛ්‍ය, පුරාවිද්‍යා හා වාරිමාර්ග ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා තාක්ෂණය යොදා ගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. ජල සමස්ථානික තාක්ෂණය මඟින් ජලාශවල ඇති කාන්දුවීම් සෙවීමටත් ඒවාට විසඳුම් ලබාදීමටත් අපට හැකියි. දැනුම මුල් කරගත් නවෝත්පාදන ආර්ථිකයක් කරා මේ රට ගෙන යාමට අපේ අරමුණයි. තරගකාරී භාණ්ඩ නිපදවීමේ කටයුතුවලදී අපි තවමත් දුර්වල තැනකයි ඉන්නේ. එය ඉදිරියට ගෙන ඒමට තාක්ෂණය යොදා ගත යුතුයි. නිරන්තරයෙන් ම නව නිපැයුම් පිළිබඳ ව අවධානය යොමු කරමින් ඒ සඳහා ආයෝජනය කරනු ලබන රටවල් ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරන අතර නිරන්තරයෙන් නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ද නව නිර්මාණ බිහිකිරීම තුළින් රටේ ආර්ථීකය සවිමත් කිරීමට පෙරමුණ ගන්නේ නම් එය දේශීය ආර්ථීකය හරහා ලෝකය විනිවිද දකින දැවැන්ත පියවරක් වනු ඇති බවත් නවෝත්පාදනය හා දැනුම පදනම් කරගත් නව ආර්ථීක ආයෝජන සැලැස්මක් අමාත්‍යංශය මඟින් ඉදිරිපත්කොට ඇති අතර ඉන් රටේ ආර්ථීකය පිළිබඳ ව නව දෘෂ්ටිකෝණයකින් බලා මෙහෙයවිය හැකි බවත් ඔහු පැවසීය.
ජීව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, පරමාණුක තාක්ෂණය හා ජාන තාක්ෂණය මඟින් මේ රටේ ආර්ථිකය නව මඟකට ගෙනයාමට අප කටයුතු කරමින් තිබෙනවා. එමඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා රට තුළ දැනුමින් සන්නද්ධ ආර්ථිකයක් සකස් කිරීමට අපට හැකියි. තොරතුරු තාක්ෂණයෙන් භාණ්ඩ හා සේවා අංශ දෙක ම ඉහළට ගෙන ඒමට හැකියාව තිබෙනවා. අනතුරුදායක සීමාවේ තිබෙන දුප්පත්කම නැති කිරීමට තාක්ෂණය දායක කර ගන්න පුළුවන්. තවමත් අපේ රටේ උගත් විරැකියාව අඩුවෙලා නැහැ. උගත් විරැකියාට හොඳ විසඳුමක් ලබා දෙන්න තාක්ෂණය මඟින් හැකියි. තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමට මේ පනත මඟින් රජය ශක්තිමත් පාදමක් වෙයි. දකුණු කොරියාව, තායිවානය 1977 දී ශ්‍රී ලංකාවට වඩා පහත් තැනකයි හිටියේ. නමුත් ඔවුන් තාක්ෂණය නිසා සංවර්ධිත මට්ටමට ඒමට හැකි වුණා. අවාසනාවකට අපට වසර 25ක යුද්ධයක් තිබුණා. ඒ නිසා තාක්ෂණය අපට නිසි කලට ගෙන එන්න නොහැකි වුණා. එම අවස්ථාව දැන් ලැබී තිබෙනවා. එය ප්‍රයෝජනයට ගත යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/HC