මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ජනතාව අවමන් නොකරන්න

    සැප්තැම්බර් 26, 2014

    නියඟයෙන් පීඩාවට පත් ජනතාව හිඟන්නන් හා ඇටසැකිලි ගාණට දමා එම ජනතාවට අවමන් නොකරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    එහෙත් විපක්ෂය පවසන ආකාරයේ කිසිවක් නියඟයට පත් වූ දිස්ත්‍රික්කවල ජනතාවගෙන් පිළිබිඹු නො වූ බව ද ඔහු කීවේය.

     

    වැඩිදුරටත් අදහස් දැකුවූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "මොනරාගල දිස්ත්‍රික්යේ ජනතාවට රුපියල් 2,500ක් දීලා ඔවුන් රවට්ටලා ඡන්දය ගත්තා කියලා එම ජනතාවට අවමන් කරන්න එපා. සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කළේ හරියට අපේ ජනතාව හිඟාකන ඇටසැකිලි වගේ කියලයි. නමුත් එවැනි තත්ත්වයක් අපේ රටේ නැහැ. රජයක් ලෙස අපි අවශ්‍ය සෑම සහනාධාරයක් ම ලබා දෙන්න කටයුතු කළා. දැන් විපක්ෂය රුපියල් 6,000 සහනාධාරය ගැන කතා කරනවා. ඒ සහනාධාරය දුන්න හැටි මේ අයට කියා දිය යුතුයි. අනුරාධපුර, පොලොන්නරුව පළාත්වල නියඟය ආවාම ඒ පළාත්වල ගොවි සංවිධානවල ගොවීන් එකතු වෙලා කිව්වා අපිට මුදල් අවශ්‍ය නැහැ. එහෙම නැතිනම් පිංපඩි අවශ්‍ය නැහැ කියලා. අපි කරන වැඩ කොටසට සරිලන මුදලක් ලබා දෙන්න කියලා තමයි ඔවුන් යෝජනා කළේ. ඒ අනුව තමයි අපි රුපියල් 6,000ක මුදල් ලබා දුන්නේ. අනික් කාරණය තමයි මේ අය දවස් 12ක් වැඩ කරලා මෙම සල්ලි ලබා ගන්නවා කියන කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. මොවුන් සාමාන්‍යයෙන් දිනකට පැය 4යි වැඩ කරන්නේ. හැ‍බැයි සමහර ස්ථානවල රාජකාරි කළ නිලධාරීන් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ජනතාවට කිරීමට නොහැකි වැඩ කොටස් භාරදීලා‍ ඔවුන් අපහසුතාවට පත් කළ තැන් අපි දැක්කා.  අපි වහා ම මැදිහත් වෙලා එම තත්ත්වයන් වළක්වා ජනතාවට සහන ලබාදුන්නා. 

    ඇළ සුද්ධ කරන එක, තමන්ගේ ගමේ පාරේ කැලෑ කපන එක අතීතයේ ඉඳලා ගම්වල ජනතාව කළා. මෙය හෑල්ලුවට දකින්න එපා. අද සහනාධාර ගැන කෑගහන සජිත් මහත්තයාගේ පියා ජන සවිය ලබා දුන්නේ නිකම්ද? එදත් වැඩ ගත්තා විතරක් නෙවෙයි රුපියල් 25,000ක් දෙනවා කියලා කිව්වා. ඒ වුණාට ඒ සල්ලි දාපු බැංකු අද වෙනකම් හොයා ගන්න බැරි ව තියෙනවා. මෙය රටේ ඇති වුණ පළමු නියඟය නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට පාලනය කරද්දි ත් නියඟයන් ආවා. එදා මේ වගේ සහන ලබාදුන්න ද? මුදල් ප්‍රතිපාදන වෙන් කළාද? බවුසර් ලබා දුන්නද? මේ කිසි දෙයක් කළේ නැහැ. නමුත් අපේ රජය නියඟය පැමිණීමත් සමඟ ඒ ඒ දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය සහනාධාර පමණක් නොවෙයි හිඟයකින් තොර ව ජලය ලබාදෙන්න කටයුතු කළා. අදටත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙමින් තිබෙනවා.

    රුපියල් මිලියන 551ක මුදලක් අපේ අමාත්‍යාංශයෙන් ලබාදී තිබෙනවා. නියඟය ආශීර්වාදයක් කර ගනිමින් ජනතාවට සෙත සලසන්න අපට හැකි වී තිබෙනවා. එජාප කාලයේ මේ කිසිවක් දුන්නේ නැහැ. එහෙත් ඒ අය ඇමෙරිකන් පිටි, චීස් ගෙනැල්ලා අපේ මිනිසුන්ට කැව්වා. අදට වුණත් අපිට ඒ දේවල් අතහැර ගන්න බැරි ව තිබෙනවා. ඊළඟ කාරණය තමයි මේ අය චෝදනා කරනවා මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වුණු මැතිවරණය ඉලක්ක කරගනිමින් අපි රුපියල් 2,500ක් දුන්නා කියලා. අපි මෙය දෙන්න හැදුවේ මැතිවරණය පැවැත්වීමට දින දහයකටත් කලින් නමුත් එය වළක්වන්න සමහරු කටයුතු කළා. අවසානයේ ගොවීන් අධිකරණයට ගිහින් තමයි මෙය ලබා ගත්තේ.

    අතීතයේ නියඟය තිබුණේ හම්බන්තොටට විතරයි. අද දිස්ත්‍රික්ක 14කට මේ නියඟය බලපා තිබෙනවා. ඉන් ලක්ෂ 20කට අධික ජනතාවටක් පීඩාවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය තේරුම් ගෙනයි අපි කටයුතු කරන්නේ යම් අයකුගේ වගාවට හානියක් වෙලා තිබෙනවා නම් ඒ සෑම අයකුට ම සහන ලබාදෙන්න අප කටයුතු කළා. සජිත් මහත්තයා වතුර බෙදන කොට වතුර බවුසරෙත් එක්ක රූපවාහිනී නාලිකා තුනක කැමරා යනවා. පුවත්පත්වල පළ වෙනවා. නමුත් අපි කරන දේවල් ඊට වැඩියි. ඒත් ඒ කිසිදෙයක් ප්‍රචාරණය වෙන්නේ නැහැ. ඒකට මම එතුමට දොස් කියන්නේ නැහැ. එය එතුමාගේ දක්ෂතාවක්. සතුන්ට අවශ්‍ය වතුර කෑම දෙනවද කියලා ප්‍රශ්න කළා. මිනිස්සු, සත්තු කියලා වෙන් කරලා කටයුතු කරන්නේ නැහැ. ඒ සියලු දෙනාට ම අවශ්‍ය ආහාර වතුර ලබාදෙනවා. අපි ගාව තියෙන්නේ දීර්ඝ කාලීන සැලසුම් මිසක් පැලැස්තර විසඳුම් නෙවෙයි.

    මේ වන විට විශාල ප්‍රමාණයේ ජල යෝජනා ක්‍රම ඇති කරන්න කැබිනට් මණ්ඩලයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඉන් බොහොමයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එම නිසා 2016 වසර අවසන් වන විට හැම පවුලකට ම පිරිසිදු පානීය ජලය ලබාදෙන්න කටයුතු කරනවා" යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya