අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට, අගමැතිට, රටට සහ ජනතාවට ආශිර්වාද පතා රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත් ....

    නොවැම්බර් 20, 2021

     සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කරන ජනාධිපතිවරයා දේශපාලනිකව කිළිටු වී නැහැ .... -අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි.
     රටේ පාලකයන්ට බැන වැඳීමෙන් මුහුණ දී ඇති දුෂ්කර අවස්ථාවෙන් ගොඩ ඒමට බැහැ .... -මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි.
     පාලන සමය නිරවුල්ව ගෙන යෑමට ජනපතිට අමරපුර මහා
    සංඝ සභාවේ පූර්ණ ආශිර්වාදය හිමිවෙනවා. - ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි හිමි

     ඉවසීමෙන් යුතුව කටයුතු කොට රට පෙරට ගැනීමට ජනපතිට සහාය දෙන්න - ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමි

     

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලනිකව කිළිටු නොවූ නායකයෙක් බවත්, එතුමාගේ නව දේශපාලන වැඩපිළිවෙළට රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ සහාය හිමිවිය යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසති.

    මෛත්‍රිය, දයාව සහ අධිෂ්ඨානය ප්‍රතිපත්තිය කරගත් වත්මන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රට වෙනුවෙන් සුවිසල් වැඩකොටසක් ඉටු
     සිටින බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් ඊයේ (19) පස්වරුවේ අනුරාධපුර, ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පැවති ආශිර්වාද පිංකමේ දී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

    රුවන්වැලි මහා සෑ රඳුන් වෙනුවෙන් ඖෂධ සහ චතුමධුර පූජාව සිදු කොට ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රුවන්වැලි මහා සෑ රඳුන් වෙනුවෙන් පැවති විශේෂ චීවර කප්රුක පූජාවට එක් විය.
    අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජයට සහ රටටත්, ජනතාවටත් ආශිර්වාද පළ කළහ.

    අතීතයේ මෙන්ම පසුගිය යුද ජයග්‍රහණයේදී ද මහා සංඝරත්නය රාජ්‍ය නායකත්වයට අවවාද අනුශාසනා ලබා දුන් බව පැවසූ පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා කෙරෙහි නිරන්තරයෙන් ඇහුම්කන් දෙන නායකයන් බව සඳහන් කළහ.

    සියලුදෙනා එක්ව ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කර ගැනීමේ හෝරාව අද එළැඹ ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ විනයගරුක සමාජයක්, බෙදුම්වාදය සහ ජාතිවාදය තුරන් කර සියලු දෙනා සහජීවනයෙන් ජීවත්වන රටක් ගොඩනැගීමට සියලුදෙනා එකාවන්ව එක්විය යුතු බව ද සඳහන් කළහ.

    නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙනයාමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය ලබාදිය යුතු බවත් රටේ සංවර්ධන ක්‍රියාවලියට උගතුන් සහ රාජ්‍ය නිලධාරීන් දායක කර ගැනීමට ජනාධිපතිතුමා දක්වන උනන්දුව ප්‍රයෝජනයට ගනිමින් රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට ඔවුන් පෙරට පැමිණිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ. පාලකයන්ට අපහාස කිරීමෙන් හෝ බැණ වැඳීමෙන් මෙම දුෂ්කර අවස්ථාවෙන් එගොඩවිය නොහැකි බවත්, රටේ ඉදිරි ගමන් මග වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය සහ අවංක කැපවීම අවශ්‍ය බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ විශේෂ අනුශාසනාවක් සිදු කරමින් පෙන්වා දුන්හ.

    දූෂණය සහ වංචාව පිටුදකිමින් කටයුතු කරන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතුය. නිෂ්පාදන ආර්ථිකයට රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. දුෂ්කර තත්ත්වයක් හමුවේ වුවද රට ගොඩනැගීම මුල් කර ගනිමින් ආනයන සීමා කිරීම දෙස ඉතා ඉවසීමෙන් බලා සිටිය යුතුය. වසර 50ක් පුරා පාලකයන් ලබාගත් විදේශ ණය හේතුවෙන් අද රට ණය බරින් හෙම්බත්ව තිබේ. මෙකී සියලු අභියෝග ජය ගැනීමට සියලුදෙනාගේ සහාය රජයට අවශ්‍ය බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. එහිදී ජනතාවගේ මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ අවංකභාවය ඉතා වැදගත්ය. අයෝජකයන් රටට පැමිණෙන විට ඔවුන්ගෙන් සංතෝසමන් ඉල්ලමින් එම වැඩපිළිවෙළ අඩපණ නොකළ යුතු බව ද උන්වහන්සේ පෙන්වාද දුන්හ.

     

    ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලන සමය ඉතා අභියෝගාත්මක සමයක් බවත් සියලු ගැටලු නිරවුල් කර ගනිමින් ඉදිරියට යාමට අමරපුර මහා සංඝ සභාවේ අශිර්වාදය එතුමාට හිමිවන බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් කරමින් පැවසූහ. කොරෝනා අභියෝගය ජය ගනිමින් ජන ජීවිතය සුවපත් කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට උන්වහන්සේ ආශිර්වාද පළ කළහ.

    ඉවසීමෙන් යුතුව කටයුතු කොට රට පෙරට ගැනීමට ජනපතිට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමිපාණන් වහන්සේ පැවසූහ.
    වළගම්බා රජ සමයේ සිට නියං සාගතවලට රට මුහුණදී තිබේ. එම සාගතයන්ගෙන් රට බේරා ගැනීමට මහාසංඝරත්නය නිරන්තරයෙන් අවවාද, අනුශාසනා සිදු කළහ. එම ඉතිහාසය දන්නා වත්මන් ජනාධිපතිවරයා ද මෙම දුෂ්කර සමයේ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපේක්ෂා කිරීම සතුටට කරුණක් බව උන්වහන්සේ සඳහන් කළහ.

    සියලු පක්ෂ, පාට බේද පසෙකලා අපේ රට, අපේ ජාතිය යන හැගීමෙන් යුතුව රට ගොඩනැඟිමේ වැඩපිළිවෙළට සහාය දීම සියලුදෙනාගේ වගකීම බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
    ත්‍රෛනිකායික මහා නායක, අනු නායක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු, දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya