අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව අද ජනපති ප්‍රධානත්වයෙන් මඩකලපුවේ දී

    පෙබරවාරි 08, 2019

    දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ,ග්‍රාමශක්ති, ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ මඩකලපුව, මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනතාවට යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වෝත්සාහයෙන් නැගී සිටීමට අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම විශේෂත්වයක් වන අතර, පෞද්ගලික අංශයේ ද දායකත්වයෙන් එය මේ වන විට සාර්ථක ව දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කෙරේ.

    2018 වසරේ දී මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමශක්ති සමිතිවලට ලබාදී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42ක් වන අතර අම්පාර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 66ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 33ක් ලබාදී තිබේ.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ ජීවත්වන 5,26,567ක ජනතාවගෙන් 11.3% දරිද්‍රතාවයෙන් පීඩාවිදින අතර, අම්පාර දිස්ත්‍රික්කයේ 6,49,402ක ජනතාවකගෙන් 2.6% ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 3,79,541ක ජනතාවගෙන් 10%ක් ද දිළිදුකමින් පීඩා විදී. එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග්‍රාමශක්ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන අතර, එම වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ හෙට පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේ දී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

    පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේ දී ප්‍රදේශයේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම ද සිදු කෙරේ.

    එමෙන්ම පෞද්ගලික සමාගම් සහ නැගෙනහිර පළාතේ ග්‍රාමශක්ති සමිති අතර ගිවිසුම් දෙකකට අත්සන් තැබීම හෙට පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේ දී සිදුවන අතර ඒ මුහුදු පැලෑටි අපනයනය සහ මුරුංගා දළු එකතුකිරීම හා මිලදී ගැනීම සම්බන්ධවයි.
    මේ අතර හෙට ජනාධිපතිතුමා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන මඩකලපුව, මන්මුනෙයි, සතුරුකොණ්ඩාන් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද නියමිතය.

    පවුල් 468ක් ජීවත්වන එම ගම්මානයේ පවුල් 91ක්ම කාන්තාවන් ගෘහමුලිකත්වය දරන අතර එම පවුල්වල ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳවත්, මතුව ඇති ගැටලු පිළබඳවත් එහි දී ජනාධිපතිතුමා සෙයා බැලීමට නියමිතය.

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා මේ වන විට සක්‍රීය ව වැඩ අරඹා ඇති ගම්මාන 1000කි. ඉන් 700ක් ප්‍රජාපාලිත ගම්මාන වන අතර, 300ක් නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙස ක්‍රියාත්මක වෙයි. 2020 වන විට මෙම ගම්මාන සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya