මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැවැති පාලන කාලය තුළ රටේ ණය ප්‍රමාණය තුන්ගුණයකින් ඉහළ ගියා- අග්‍රාමාත්‍ය

    ජූනි 11, 2018

    2005 වන විට නිදහස ලැබී අවුරුදු 58 ක් තුළ රටේ මුළු ණය මුදල බිලියන 2222 ක් වූවත්, 2005 සිට 2014 දක්වා කාලය තුළ එම ණය මුදල බිලියන 7391 ක් දක්වා වැඩිවී තිබෙන බවත් ඒ
    ආකාරයට පැවැති පාලන කාලය තුළ රටේ ණය ප්‍රමාණය තුන්ගුණයකින් ඉහළ ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයටඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙමින් කළ කතාව.

     

    එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.


    මොරගහ කන්ද ජලාශය පිළිබඳව මීට පෙර සිදු කළ කථාවක සඳහන් වු නිසා මම ඒ පිළිබඳව පළමුවෙන් යමක් කියන්න කැමැතියි. ජේ.ආර්. ජයවර්ධන සහ ගාමිණී දිසානායක මැතිතුමන්ලා ආරම්භ කළ මහවැලි ව්‍යාපෘතිය යටතේ මෙම මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමය ආරම්භ වුණා. නමුත් උතුරේ පැවැති යුද්ධය හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම කල් දැමුණා. පසුගිය ජනාධිපතිවරණයේ එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එතුමා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව එතුමාම පැමිණ එහි මුල්ගල තබා වැඩකටයුතු ආරම්භ කළා. රජයෙන් ඊට අවශ්‍ය මුදල් ලබාදුන්නා. ඊට පෙර මෙම ජලාශ යෝජනා ක්‍රමයට මුල්ගල් කොතරම් තබා තිබුණත් ඉදිකිරීම් සඳහා අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට මුල්ගල තැබීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ආණ්ඩුවට හැකි වුණා.


    ඒ වගේම රජයෙන් ලැබෙන මුදල් හරහා වජිර අබේවර්ධන ඇමැතිතුමා මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකර තිබෙනවා. අද දිනයේ එය විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. මේ ආකාරයට දිවයිනේ ප්‍රදේශ ගණනාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිකරමින් අවශ්‍ය පහසුකම් සැලසීමට අප කටයුතු කර තිබෙනවා. ජනගහනය වැඩි වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සතු වගකීම් වැඩි වෙනවා. ඒ අනුව ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට අපට සිදු වෙනවා. ප්‍රදේශයකට මනා පරිපාලනයක් තිබිය යුතුයි. එම මනා පරිපාලනය ඇති කිරීම වෙනුවෙන් වජිර අබේවර්ධන අමාත්‍යවරයා රට පුරා ගොස් සිදු කරන සේවාව අප අගය කළ යුතුයි. වර්තමානයේ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමේ පරිපාලනය හොදින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නමුත් ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී තවමත් යම් ප්‍රමාදයන් පවතින බව මම පැවසිය යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරුන් බලයේ සිටි කාලයේ එවැනි ප්‍රමාදයක් තිබුණේ නැහැ. වර්තමානයේ ව්‍යාපෘතිවල ඇතිවී ඇති ප්‍රමාද අවම කර ගැනීම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මූලික වගකීම විය යුතු බව මම පවසනවා.

    ගලේවෙල ජනතාවට මෙම නව ගොඩනැගිල්ල ලබාදීමට නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මැතිතුමාත් විශාල ලෙස උනන්දු වුණා. වසන්ත අලූවිහාරේ ඇමතිතුමාත්, මාතලේ ප්‍රදේශය දියුණු කිරීමට විශේෂ උනන්දුවක් දක්වනවා. එතුමාගේ ප්‍රධානත්වයෙන් වැව් ගණනාවක් ප්‍රතිසංස්කරණයකර තිබෙනවා. මහවැලිය ආරම්භ වූවායින් පසුව මෙතරම් වැව් ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ සියලූ දේ හරහා මෙම ප්‍රදේශය දියුණුවට ලක් වෙනවා.

    ඒ වගේම දඹුල්ල ප්‍රදේශය ගැනත් මට යමක් පැවසිය යුතුයි. දඹුල්ලේ නව ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට මගේ අමාත්‍යංශය යටතේ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කටයුතු කරමින් සිටිනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව ඇති භූමියක් ඒ සඳහා ලැබී තිබෙනවා. මෙට්‍රික් ටොන් 5000 ක එළවළු සහ පළතුරු ගබඩා කිරීමට හැකි ගබඩාවක් අප එහි ඉදිරියේදී ඉදිකරනවා. අප එම ගබඩා සංකීර්ණය ඔබට ලබා දෙන්නේ ශීතකරණ ආදී නොයෙකුත් පහසුකම් ඇතිවයි. එම නිසා එළවළු පළතුරු තවදුරටත් කුණු ගොඩට දැමීමට සිදු වන්නේ නැහැ. ඒ සඳහා ඉන්දීය රජයෙන් ආධාර ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ගබඩා සංකීර්ණ පාලනය කිරීමට පළපුරුද්දක් ඇති සමාගම් නොමැති නිසා එහි කළමනාකාරීත්වය ඉන්දීය සමාගමකට භාර දෙනවා.

    මේ සඳහා ශ්‍රී ලංකාවේ කාගීල්ස්, කීල්ස් ආදී සමාගම් සම්බන්ධ කරගන්නවා. එම නිසා අස්වනු සහ භෝගවලට නිශ්චිත මිලක් ලැබෙන වැඩසටහනක් අප ක්‍රියාත්මක කළ යුතුයි. මේ අප ආරම්භ කර තිබෙන්නේ එහි පළමු අදියර පමණයි. එහි දෙවන අදියරේ මෙම ගබඩා සංකීර්ණයන් සමග සම්බන්ධ වන ග්‍රාමීය මාර්ග පද්ධතිය අලූත්වැඩියා කරනවා. මාර්ගවල ඇති අපහසුතා නිසා ප්‍රවාහනයට බාධා එල්ල වනවා. එවිට බෝගවලට හානි සිදු වෙනවා. නමුත් ඊට පිළියමක් ලෙස ඉදිරි වසර කිහිපයේදී ගබඩා සංකීර්ණයට සම්බන්ධ මහා මාර්ග පද්ධතියක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අස්වනු ප්‍රවාහනය කිරීමේදී විවිධ ගැටළු ඇති වෙනවා. එම නිසා භෝග ප්‍රවාහනයට අවශ්‍ය ප්ලාස්ටික් පෙට්ටි ආදී පහසුකම් ලබා දීමටත් අප ක්‍රියා කරනවා.

    එවිට ප්‍රවාහනයේදී භෝගවලට සිදුවන හානිය අවම වනවා. භෝග මිලදී ගැනීම වර්ධනය වනවා. එවැනි අලූත් වැඩ සටහනක් මේ ප්‍රදේශය වෙනුවෙන් අප ආරම්භ කරනවා. භෝග අලෙවියෙන් ලැබෙන ආදායම වර්ධනය කිරීම අපේ අරමුණයි. එම සමාගම් සමග එක්වී ගොවි මහතුන්ගේ නිෂ්පාදන ඉහළ දැමීමට, තරඟකාරීත්වය ඉහළ දැමීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදීමටත් අප කටයුතු කරනවා. එසේනම් ඉදිරියේදී භෝග මිලදී ගැනීමේ සහ ගබඩා කිරීමේ විප්ලවයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

    මෙම වැඩසටහන ඉදිරියේදී වෙනත් ප්‍රදේශවලත් ආරම්භ කිරීමත් අපේ බලාපොරොත්තවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය කිරීම, වාරි මාර්ග, ඉදිකිරීම, ඉඩම් ලබාදීම, වගා කිරීම, භෝග ලබාගැනීම ආදී වැඩකටයුතු රාශියක් සිදු වෙමින් පවතිනවා. තවමත් අපට සිදු කිරීම නොහැකි වූයේ මිල තත්ත්වය ගැන නිශ්චිත තීරණයක් ගැනීම පමණයි. අප එයත් ඉදිරියේදී සිදු කරනවා. මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීමේ පළමු අදියර ලෙස ඉදිරි සතියේදී අදාළ පාර්ශව මුණගැසීමටත්, නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර එම අදාළ ඉඩම ලබාගැනීමටත් එකඟව ඇති බව හර්ෂ ද සිල්වා ඇමැතිතුමා මා සමග පැවසුවා. මේ අප ක්‍රියාත්මක කරන එක් විශාල වැඩසටහනක්. මෙවැනි වැඩසටහන් ගණනාවක් අපේ රජය සතු වෙනවා. සමෘද්ධි ලාභීන් සංඛ්‍යාව වැඩි කිරීමටත් අප කටයුතු කරනවා. සමෘද්ධි ලාභීන් තෝරා ගැනීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳව අපට ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වුණා. එම නිසා ඒ වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන්න යැයි මම විශය භාර ඇමැතිතුමාට පැවසුවා. එම වැඩකටයුතු සීඝ්‍රයෙන් ඉටුකළ යුතු නිසා ඊට අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවද වැඩි කිරීමට අප තීරණය කළා.

    මගේ අමාත්‍යංශයේත්, සමෘද්ධි අමාත්‍යංශයේත්, සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්තුමා සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ගෙන් සමන්විත කමිටුවක් මම පත් කළා. එම කමිටුව හරහා සමෘද්ධි බැංකුව මීටත් වඩා ශක්තිමත් කිරීම පිළිබඳව මට වාර්තා ලබා දෙනවා. ඊට ඇතැමුන් විරෝධය දක්වනවා. නමුත් ගමේ අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන ණය මුදල තවත් වැඩි කිරීමට හැකියාව ඇති බැංකුවක් බවට සමෘද්ධි බැංකුව පත් කිරීමට අවශ්‍ය පියවර අප ගනිමින් සිටිනවා.


    බස්නාහිර පළාතේ කර්මාන්ත දියුණුව ඇතිවන විට පොල්, රබර් ගස් කැපෙනවා. එම නිසා රජරට සහ උතුරු කලාපයේ පොල් අක්කර 15,000 ක් වගා කිරීමට අප සාකච්ඡා කර තිබෙනවා. වව්නියාව මාන්කුළම ප්‍රදේශයේ අක්කර 10,000 ක් පමණ ඒ සඳහා ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. නවීන් දිසානායක ඇමැතිතුමා එම කටයුතු ඉදිරියට කර ගෙන යනවා. ඒ වගේම මොණරාගල සහ මාතලේ ඇතැම් ප්‍රදේශවලත් රබර් වගා කිරීම පිළිබඳව එතුමා සැලසුම් සකස් කරමින් යනවා. දයා ගමගේ ඇමැතිතුමා විසින් කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. මගේ අමාත්‍යංශය යටතේ නුවර, මාතලේ, ඇල්කඩුව, කුරුණෑගල ආදී ප්‍රදේශවල කොකෝවා වගාව දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප එවැනි වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. චොකලට් නිෂ්පාදකයින් එම කෝකෝවා මිලදී ගැනීමට සූදානම් බව මේ වන විට පවසා තිබෙනවා. ඒ වගේම පොල්, රබර් පිළිබඳව ද කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නැහැ. තම අස්වනු හරහා ජනතාවට වැඩි වශයෙන් මුදල් ලබා ගත හැකි ආකාරයට අප ආර්ථික වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

    ඊට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා නිවාස යෝජනා ක්‍රම ඉදිකරමින් සිටිනවා. මේ ප්‍රදේශයේ පාසැල් දියුණු කිරීම සඳහා ළෙඟම පාසල හොඳම පාසලෙ ව්‍යාපෘතිය යටතේ ආධාර උපකාර ලබා දෙනවා. ජාතික පාසැල් පමණක් නොව පළාත් පාසල් ද දියුණු කිරීම සඳහා අකිල විරාජ් ඇමැතිතුමා අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා. ග්‍රාමීය පාසල්වලට ශිෂ්‍යත්ව වැඩි ප්‍රමාණයක්, අවශ්‍ය ක්‍රිඩා ගුරුවරුන් ආදිය ලබාදී තිබෙනවා. ඒ වගේම ජුනි මාසයේ සිට උපාධිධාරීන්ට රැකියා පත්වීම් ලබාදීම නැවත ආරම්භ කරනවා. රැකියා පුහුණු වැඩසටහන් රාශියක්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. එවිට කර්මාන්තශාලා, හෝටල් ආදී ක්ෂේත්‍රවල පුහුණුවෙන් පසු රැකියා ලබා ගැනීමට බොහෝ දෙනෙක්ට අවස්ථාව උදා වෙනවා. එමෙන්ම දිවාසුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කැමැති කාන්තාවන්ට ලිහිල් කොන්දේසි මත ණය ලබාදීමේ වැඩසටහනක් අප ආරම්භ කරනවා. ස්වයං රැකියා සඳහා උපකාර කිරීමෙන් එය ජනතාවට ශක්තියක් වනවා. එමෙන්ම අප ආණ්ඩුවේ රැකියා ද ලබා දෙනවා.

    අප හම්බන්තොට, වැලිගම, බිංගිරිය ආදී ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇති කරනවා. ඒවාගේම සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් කටයුතු කරනවා. තම නිවාස වල කාමර සංචාරකයින් සඳහා නවාතැන් ලෙස ලබාදෙන බොහෝ දෙනෙක් අද අපේ රටේ සිටිනවා. එය දියුණු කිරීමට අවශ්‍ය උපකාර ඔවුන්ට ලබාදීමට අප සූදානම්. එවිට බටහිර පන්නයට ආහාර පිසීමේ පුහුණුව ලබාදීමට, කාමර ඉදි කිරීමට අවශ්‍ය ණය මුදල් පහසුකම් සලසා දීම ආදිය ජනතාව වෙනුවෙන් ඉටු කර දීමට අප සූදානම්.


    වර්තමානයේ කාමරයක් දෙකක් ලබාදී ඩොලර් 10 ක් පමණ උපයා ගැනීමට ජනතාවට හැකියාව තිබෙනවා. ඒ හරහා ඔබට යම්කිසි මුදලක් ඉපයීමට හැකියාව ලැබෙනවා. අප රටේ ඉදිරි දියුණුව වෙනුවෙන් විශාල වැඩසටහනක් ගෙන යන්නේ මේ ආකාරයටයි. හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා රටේ වයි- ෆයි පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. මෙවැනි වැඩසටහන් ගණනාවක් අද අප සිදු කරමින් සිටිනවා. අපට දක්‍ෂ ඇමැතිවරුන් ගණනාවක්, දක්‍ෂ නියෝජ්‍ය ඇමැතිවරු ගණනාවක් සිටිනවා. මේ ආකාරයට වැඩ කිරීමට දක්‍ෂ විශාල කණ්ඩායමක් සිටීමෙන් සැබෑම කරදරය වි¼දින්නේ මමයි. වැඩ කිරීම සඳහා මුදල් සොයා දෙන්න යැයි ඔවුන් නිතරම මට කරදර කරනවා. පුළුවන් සෑම ආකාරයකටම අපි අවශ්‍ය මුදල් ලබා දෙනවා. ඒ වගේම ගම් පෙරළිය වැඩසටහන හරහා ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මුදල් ලබා දෙනවා.

    සංවර්ධන වැඩ කටයුතු සඳහා මුදල් ලබා ගැනීම පිළිබඳව මම මංගල සමරවීර, මලික් සමරවික්‍රම සහ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර තිබෙනවා. මෙවැනි දක්‍ෂ ඇමැති කණ්ඩායමක් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේත් සිටියා. ඉන් පසුව එවැනි දක්‍ෂ කණ්ඩායමක් සිටින්නේ අපේ ආණ්ඩුව තුළ බව කිව යුතුයි. එහි ප්‍රතිඵල ඉදිරි වසරේදී ඔබට දැකගත හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. අප භාරගත්තේ ණය පමණක් තිබූ රටක්. කබීර් හෂීම් ඇමැතිතුමා මහාමාර්ග අමාත්‍යංශය භාර ගන්නාවිට අමාත්‍යංශයේ මුදල් නොතිබුණු බව එතුමා පැවසුවා. පෙර පැවැති රජය සමයේ බිල්පත් පවා ගෙවීමට ඉතිරි වී තිබූ බවත් එතුමා මට පැවැසුවා. එම බිල්පත් ගෙවන අතරම මාර්ග සංවර්ධනයටත් එතුමා දැන් මුදල් වෙන් කරමින් සිටිනවා.

     

    2005 වන විට නිදහස ලැබී අවුරුදු 58 ක් තුළ අප ගෙන තිබූ ණය ප්‍රමාණය වන්නේ බිලියන 2222 ක් නමුත් 2014 වන විට එය තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. එවිට ණය මුදල් බිලියන 7391 ක් බවට පත්වී තිබෙනවා. යුද්ධය අවසන් වූ පසුත් පෙර සිටි පාලකයින්ගේ ණය මුදල් ලබා ගැනීම තව තවත් වැඩි වී තිබෙනවා. මහවැලිය ව්‍යාපෘතියට, යුද්ධයට ආදී සියලූ දේ සඳහා ගත් ණය මුදල් ප්‍රමාණය වන්නේ බිලියන 2222 ක් පමණයි. නමුත් රාජපක්‍ෂගේ පාලන කාලය තුළ එය 7391 ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ කාලය තුළ බිලියන 4164 ක් වැඩි වී තිබෙනවා. ඒ අකාරයට රටේ ණය ප්‍රමාණය තුන්ගුණයකින් වැඩි වූ විට ඉතා කෙටි කාලයකින් එම ණය මුදල ගෙවිය හැකිද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වන අවධියේ ණය වාරිකය ගෙවීම සඳහා රටේ ආදායමවත් ප්‍රමාණවත් වුණේ නැහැ. එතුමා ජනාධිපති වී අප ආණ්ඩුවක් ඇති කර ගත් පසු එම තත්ත්වය පාලනය කිරීමට අපට හැකි වුණා. අප කෙසේ හෝ ඉදිරියට ගියා. රවී කරුණානායක මැතිතුමා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේ රාජ්‍ය සේවක වැටුප රු. 10,000 න් වැඩි කළා. අපි පෙට්‍රල් මිල අඩු කළා. නැවතත් පෙට්‍රල් මිල තරමක් ඉහළ ගියත්, පෙර ආණ්ඩුව නියම කර තිබු මිල තරම් මෙවර මිල ඉහළ ගොස් නැති බවත් අප පැවසිය යුතුයි. මේ අවස්ථාවේදී මාධ්‍ය ජනතාව ඉදිරියට ගොස් පෙට්‍රල් මිල කොහොමදැයි ජනතාවගෙන් ඇසුවා. පෙට්‍රල් මිල කොතරම් වැඩි වුණත් ඒ කාලයේ තරම් මිල වැඩි වුණේ නැහැ යැයි ජනතාව පැවසුවා. මාධ්‍ය එම කොටස කපා ඉවත් කර මිල වැඩි වූ බව කියන කොටස පමණක් ප්‍රචාරය කළා. 

     

    අද ලෝකයේ විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. කෙසේ හෝ මේ තත්ත්වයන් පාලනය කර ගෙන ඉදිරියට යා යුතුයි. සමහරවිට අපට බදු වැඩි කිරීමට සිදු වුණා. එවිට ඇතැම් අය අපට බණිනවා. මෙලෙස බදු වැඩි කිරීමට සිදුවන්නේ ඇයි? ගත් ණය ආපසු ගවීමට අප බැඳී සිටිනවා. වෙන මොනවා කරන්නද?

    නමුත් ඔබ මේ ගෙවන වෙනත් අයගේ පව් බව මම පැවසිය යුතුයි. අප මේ ගෙවන්නේ ගිය ආත්මේ කළ පවක් වෙන්නැති. නැතිනම් අනෙක් අයගේ පව් අප ගෙවන්නේ ඇයි දැයි මා දන්නේ නැහැ. ඕක තමයි ජීවිතය. කර්මය යනු එයයි ස්වාමීන් වහන්ස. කෙසේ හෝ 2023 වන විට අප එම ණය මුදල ගෙවා අවසන් කළ යුතුයි. අප එය හඳුන්වන්නේ විපත් මඟ යනුවෙනුයි. හැබැයි විපත් මඟ නිර්මාණය කරළ අයම ආණ්ඩුව ගෙන යන්නේ කෙසේදැයි අපෙන් විමසනවා.

    එකවර සියල්ල විසදෙන්නේ නැහැ. ක්‍රමයෙන් සියලූ දේටම අප විසඳුම් ලබාදෙනවා. මෙවැනි ප්‍රදේශ දියුණුවන්නේ එවිටයි. ඔබේ රැකියා, ආදායම් මාර්ග ආදියත් එවිට ක්‍රමයෙන් දියුණු වෙනවා. අපේ ආණ්ඩුව ඉදිරි මාස 18 තුළ මීටත් වඩා වැඩ කොටසක් රට වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. කෙසේ හෝ ලෙඩා නොමැරී ගොඩගැනීමට අපට හැකියාව තිබෙනවා. රෝහලේ දොස්තරලා හා හෙදියන්ගේ හොඳකම නිසා ලෙඩා නොමැරී බේරාගැනීමට හැකි වෙනවා.” යැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජ්.සී. අලවතුවල, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, එක්සත් ජාතික පක්‍ෂයේ දඹුල්ල ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, ගලේවෙල සම්බන්ධීකරන කටයුතු සම සභාපති ඩබ්ලිව්. එම්. යසමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya