නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථිකය බිද වැටුණු විට ආණ්ඩු බලය අත්හැර පලාගිය අය අද ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි විමසීම පුදුමයක්

    මැයි 18, 2018

    එදා ආර්ථිකය බිද වැටුණු විට ආණ්ඩු බලය අත්හැර පලාගිය අය අද ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි අපෙන් විමසීම පුදුමයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    2018 මැයි මස 17 වන දින අරලියගහ මන්දිරයේ පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව

     

     

    හෙද නිලධාරීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් අද දිනයේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා. ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනිය විසින් ලෝකයේ හෙද සේවාව ආරම්භ කළා. ලෝකයේ සෑම ආරෝග්‍ය ශාලාවකම වෙනත් සෞඛ්‍ය මධ්‍යස්ථාන ආදියේ ප්‍රතිකාර ලබන සියලූම දෙනා ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය සිහිතබා ගත යුතුයි. එතුමිය ආරම්භ කළ හෙද සේවය වෘත්තියක් බවට පත්වුණා. ඊට පෙර විවිධ ආගම් හරහා රෝගීන් රැකබලා ගැනීම සිදුවුණා. නමුත් පළමු වතාවට ආගම්වලින් බැහැරව ගිහි සේවාවක් ලෙස මෙය ආරම්භ වුණා. අද දිනයේ ලෝක හෙද නිලධාරීන්ගේ දිනය සැමරීමේ මෙම උත්සවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මම ඔබට ස්තුතිවන්ත වෙනවා.


    හෙද හෙදියන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අපේ රජය ඉටුකර තිබෙන සේවාවන් පිළිබඳව රාජිත සේනාරත්න මැතිතුමා සඳහන් කළා. හෙද හෙදියන්ගේ පුහුණුව, පහසුකම් සලසාදීම ආදිය පිළිබඳව එතුමා සඳහන් කළා.
    රාජිත සේනාරත්න මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගෙන තිබෙනවා. මේ වසරේ අයවැයෙන් රුපියල් මිලියන 25 කුත්, විදේශ ආධාර යටතේ එමෙන් දෙගුණයක පමණ ප්‍රමාණයකුත් ලබාගෙන තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් එම මුදල් යොදවනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශවලට මුදල් ලබාදෙනවා. පළාත් සභා හරහාත් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත තවත් මුදල් ලබාදෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා වෛද්‍ය පීඨ වෙනුවෙන් මුදල් වෙන් කරනවා. අපේ රජය බලයට පත්වූ පසු නව වෛද්‍ය පීඨ 3ක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය එම වෛද්‍ය පීඨ තුනයි. ඊට සමගාමීව කුලියාපිටිය, රත්නපුර සහ පානදුර රෝහල් නවීකරණය කිරීමටත් අපි කටයුතු කරනවා. මේ සියල්ල අප සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකරන සේවාවන් බව මතක තබාගත යුතුයි.


    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා අනෙක් අංශවල අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන්කරනවා.හොඳම පාසල ළඟම පාසලෙ වැනි වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශවලට මුදල් ලබාදෙනවා. රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට වැඩිම මුදලක් ලබා දී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන්ගේ ආණ්ඩු යටතේත් මම සේවය කර තිබෙනවා. ඒවගේම චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමගත් මම කටයුතු කර තිබෙනවා. ඒ ආණ්ඩුවලත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුදල් ලබාදීම සිදුකළ ද මෙවැනි අමාරු තත්වයක් යටතේ මුදල් ලබාදීමක් අපි දැක්කේ නැහැ.

     

    නමුත් අපි බලය ලබා ගන්නා විට අපට ලැබුණේ විශාල ණය බරක් පමණයි. අධ්‍යාපනය, සෞඛ්‍යයට මුදල් වෙන්කිරීම නොව ණය ගෙවීමටවත් නොහැකි තත්වයක් ඇතිව තිබුණා. ඊට පෙර පැවති රජයට මේ ණය ගෙවීමට නොහැකි වුණා. 2013 – 2014 කාලවල ණය පොලිය ගෙවීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුනේ නැහැ. ණය අර්බූර්දය විසදීමට නොහැකි නිසා ඔවුන් ජනාධිපතිවරණයක් පැවැත්වූවා. අප ආණ්ඩු බලය ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථිකය ස්ථාවර කරමින් ණය ගෙවීම ආරම්භ කළා. අද රටේ ආදායමෙන් ණය පොලී ගෙවීමටත්, සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීමටත් හැකිවී තිබෙනවා. රටේ ආදායම වැඩිවන විට ලබාගන්නා ණය ප්‍රමාණය අඩු වෙනවා. ණය සඳහා පොලිය ගෙවීමටත් අපට හැකියාව ලැබෙනවා. මේ වන විට අප ඩොලර් මිලියන 2500ක මුදලක් ණය ලෙස ගෙවා අවසන් කර තිබෙනවා. මෙම විශාල ණය මුදල ගෙවීමට නොහැකිව ආණ්ඩුව බිඳ වැටේවි යැයි බොහෝ දෙනා කල්පනා කළා. ඒවගේම නැව් නැති වරායක් සහ ගුවන් යානා නොමැති ගුවන්තොටුපලක් ද භාරගැනීමට අපට සිදුවුණා. ලෝකයේ ප්‍රධානතම ගුවන් සමාගම්වලට වඩා ගුවන් යානයක් මිලදී ගත් ගුවන් සමාගමක් භාරගැනීමටත් අපට සිදුවුණා. හම්බන්තොට, මත්තල ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය මුදල් ගෙවා දැමීමටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය මුදල් ගෙවා දැමීමටත් අප කටයුතු කරන අතරම අනෙක් සංවර්ධන වැඩ කටයුතු සඳහාත් ආණ්ඩුවෙන් මුදල් ලබා දෙනවා. අපහසුවෙන් හෝ මේ ප්‍රශ්නවලට මුහුණ දෙමින් අප ඉදිරියට යනවා.

    වර්තමානයේ ඇමෙරිකාවේ ආර්ථිකය ශක්තිමත් වන නිසා ඩොලරයේ අගය වැඩි වෙමින් අනෙක් මුදල්වල වටිනාකම අඩුවීමට පටන්ගෙන තිබෙනවා. විශේෂයෙන්ම දියුණුවෙමින් පවතින රටවල්වලට මෙය බලපානවා. ආර්ජන්ටිනාව, තුර්කිය වැනි රටවල මුදල්වල වටිනාකම බොහෝ සෙයින් පහළ ගොස් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවට මීට මුහුණ දිය හැකි බව මහ බැංකු අධිපතිතුමා ඊයේ දිනයේ පැවසුවා. එදා බංකොලොත් රටක්ව පැවති අපේ රටේ අද විදේශ විනිමය සංචිතයේ ඩොලර් මිලියන නවදහසක් පමණ තිබෙන බව පැවසිය යුතුයි. මේ වසර අවසන් වන විට එය ඩොලර් මිලියන එකොලොස්දහසක් දක්වා වර්ධනය වෙනවා. මේ ආකාරයට ආර්ථිකය කළමණාකරණය කරමින් අප සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට මුදල් වෙන් කරනවා.

    එදා ආර්ථිකය බිද වැටුණු විට ආණ්ඩු බලය අත්හැර පලාගිය අය අද ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි අපෙන් විමසීම පුදුමයක්. ඔවුන් 2015 මැතිවරණයකට ඉදිරිපත් වුනේ ආර්ථිකය බිඳ වැටුණු බව දැනගත් නිසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔවුන් යටතේ කාලයක් පාලනය වුණා. නමුත් ඔවුන් එය බිඳ වැට්ටුවා. රටේ ණය බර දෙගුණයක් බවට පත්කළා. අධ්‍යාපනයට සෞඛ්‍යයට යොදවන මුදල් ප්‍රමාණය අඩු කළා. අවසානයේ රටත්, ආර්ථිකයත් පාලනය කිරීමට නොහැකිව ආණ්ඩු බලය අත්හැර ඔවුන් පලාගියා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අපි නැවතත් රටේ ආර්ථිකය ගොඩනැගුවා. එමනිසා තමන්ට හැකියාව තිබූ අවස්ථාවේ රටේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු නොකලා නම් දැන් විවේචනය කිරීමෙන් පළක් නැති බව මම ඔවුන්ට පවසනවා. එම නිසා මේ රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කරමින් ඉදිරියට යාමට අපි කටයුතු කරනවා. රාජිත සේනාරත්න මැතිතුමා සෞඛ්‍යයට වෙන් කළ මුදල් ප්‍රමාණය ගැන පැවසූ විට අප එම ක්ෂේත්‍ර වෙනුවෙන් ඉටුකර තිබෙන සේවාවන් ඔබට පැවසීමට මම කටයුතු කළා. වෙනත් ආණ්ඩුවක් බලයේ සිටියා නම් මේ සේවාවන් කිසිවක් සිදුකිරීමට හැකිවන්නේ නැහැ. සමාජ සුබ සාධන අංශයන්වලට වැඩි වැඩියෙන් මුදල් වෙන් කරමින් අප ඉදිරියට යා යුතු බව මම අවසාන වශයෙන් ඔබට පවසනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya