අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කළ යුතුයි - අග්‍රාමාත්‍ය

    මාර්තු 20, 2018

    කොළඹ නගරයේ වැඩි පිරිසක් දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාව බවත් එම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් අපි දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කොළඹ මහනගර සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙමින් ඊයේ (19) අරලියගහ මන්දිරයේ දී මෙසේ පැවසීය.

    අද ප්‍රථම වතාවට කොළඹ නගර සභාව වෙනුවෙන් කාන්තා පුරපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය අද දිවුරුම් දුන්නා. මෙතෙක් ශ්‍රී ලංකාවේ කාන්තා පුරපතිනියක් බිහිවී නැහැ. එය ශ්‍රී ලංකාවේ වාර්තාවක් ලෙසත් හැදින්විය හැකියි. එතුමිය පුරපතිනිය බවට පත් වන්නේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් සමගයි ඇය පළාත් සභාවෙත්, පාර්ලිමේන්තුවෙත් වැඩකටයුතු කර තිබෙනවා.


    එතුමියත්, නියෝජ්‍ය නගරාධිපතිතුමාත් අනෙක් මන්ත්‍රීවරුනුත් අද දිවුරුම් දුන්නා. ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකටයුතු කළ අපේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන් සහ පාක්‍ෂිකයන් ඇතුළු සියලූදෙනාට අපි
    ස්තූතිවන්ත වෙනවා. ඔබේ දහඩිය මහන්සිය තුළින් අප මේ ප්‍රතිඵලය ලබා ගත්තා. එම නිසා රෝසි සේනානායක මැතිණිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ට මම සුභ ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ කොළඹනගරය දියුණු කරනවා දැකීම මගේ අරමුණයි. එය අපේ යුතුකමක් ලෙස සලකා ක්‍රියා කළ යුතුයි. පසුගිය මැතිවරණයේදී අපි අපේ වසර 10 ක සැලැස්ම ඉදිරිපත් කළා. දැන් එය ආරම්භ කර තිබෙනවා.

    ඒ සඳහා අවධානය යොමු කරන අතරම අපි කොළඹනගරයේ ජනතාවගේ ගැටළු ද විසදිය යුතුයි. කොළඹ නගරයේ වැඩි පිරිසක් දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාවයි. එම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් අපි දියුණු කළ යුතුයි. ඔබ මනාපයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් නොවෙයි. ඔබ ඔබේ කොට්ඨාශය නියෝජනය කිරීමට තෝරා ගත් මන්ත්‍රීවරයායි. එම නිසා ගෙයින් ගෙට ගොස් එම ජනතාව මුණගැසෙන්න. ඔවුන්ගේ ප්‍රශ්නවලට ගැටළුවලට ඔබේ සේවය ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

    අප මැතිවරණයට ඉදිරිපත් වුණේ අපට එම බලාපොරොත්තු ඉටු කිරීමට හැකි නිසයි. අප කොළඹ නගරයේ ජනතාව සමග ජීවත් විය යුතුයි. තේරී පත්වූ ඔබේ යුතුකම වන්නේ එය ආරක්‍ෂා කිරීමයි. ඔබ තෝරා ගත්තේ බයිසිකලයෙන් පැමිණ බෙන්ස් කාරයෙන් යන මන්ත්‍රීවරයෙකු බවට පත්වීමට නොව තමන්ගෙන් ජනතාවට ඉටු විය යුතු වැඩකටයුතු නිසි ලෙස ඉටුකිරීමටයි. ජනතාව අපෙන් විශාල සේවයක් බලාපොරොත්තු වෙනවා. මහජන නියෝජිතයින් වශයෙන් අපි ඒ සේවය නොපිරි හෙළා ඉටුකර දිය යුතුයි. ඒ සඳහා නිරතුරුවම කැපවිය යුතුයි.

    මහජනතාව වෙනුවෙන් මේ නගර හා ප්‍රදේශ දියුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය හැමදාම කැපවී ක්‍රියා කළා. ඒ වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන ගොස් ජනතාව බලාපොරොත්තු වන සේවය ඉටුකරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

    ජනතා බලාපොරොත්තුවන ඒ සේවය ඉටු කිරීම සඳහා මධ්‍යම රජයේ සම්පත් යොදවනවා. ඒ සමගම මෙහි තිබෙන ප්‍රශ්න පිළිබඳවත් අප දැනුවත් වී සිටිනවා. කොළඹ නගරයට ඩෙංගු ගැටළුව තිබෙනවා. ඒ වගේම කොළඹ
    නගරයේ කැළි කසළ ඉවත් කිරීම පිළිබඳවත් අපි අද සාකච්ඡා කළා. ජනතාවගේ එදිනෙදා ගැටළු අපි සාර්ථකව විසදිය යුතුයි. ඒ වගේම අපි ජනතාවට ලබාදුන් පොරොන්දු අපි ඉටු කළ යුතුයි. දැනට පවතිනවාට වඩා
    හොඳ ජීවන රටාවක් ඔබ කෙරෙහි විශ්වාසය තැබූ කොළඹ නගර වැසියන්ට ලබා දෙන්න යැයි මම අවසාන වශයෙන් ඔබට ප්‍රකාශ කරනවායැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya