අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍ර‍ථම මෙගා සතොස ශාඛාව විවෘත වෙයි

    ජනවාරි 06, 2018

    වැලිසර ප්‍රථම මෙගා සතොස ශාඛාව විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ සිදු කෙරිණි.

    වර්තමානයේ අන්තර්ජාලය හරහා තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ඇනවුම් කිරීම දක්වා ලෝකයේ ඉදිරියට පැමිණ තිබෙන බවත් සුපිරි වෙළෙඳ සැල් ආරම්භ කිරීම දක්වා සතොස නවීකරණය වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    මෙවැනි මෙගා වෙළඳසැල් 40ක් ඉදිරියේදී ලංකාව පුරා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා ප්‍ර‍කාශ කළ අතර කාර්ය බහුලත්වය හේතුවෙන් එක ස්ථානයෙන් සියලු භාණ්ඩ මිලදීමට ගැනීමට ජනතාවට පෙළඹී සිටින බැවින් සතොස මෙගා වෙළෙඳ සැල් එම කාර්යභාරය ඉටු කිරීමට කටයුතු කරන බව ද පෙන්වා දුන්නේය.


    සතොස නවීකරණය කිරීමේ කටයුතු සිදුකරන අතරම සහන මිලට  ජනතාවට භාණ්ඩ ලබාදීමේ කටයුත්තද ප්‍ර‍ධාන අරමුණ වී තිබෙන බවත් තරගකාරී වෙළෙඳ පොළ තුළ සතොස ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් වික්‍ර‍මසිංහ මහතා සඳහන් කළේය.

    රටේ දේශගුණික තත්ත්වය වෙනස්වීම හේතුවෙන් සහල් මිල ඉහල ගියා. "පැවති නියගය හේතුවෙන් පොල් මිල විශාල වශයෙන් ඉහල ගියා. ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව නොලැබී  නියගය උග්‍රවීම නිසාත් ඇතැම් ප්‍රදේශ ගංවතුරින් යටවී යාම නිසාත් එළවළු වගාවන් වලට විශාල වශයෙන් අලාභ හානි සිදුවුණා. ඒ අනුව එළවළු මිල ඉහල ගියා. මෙම කරුණු නිසා  රටට අවශ්‍ය ප්‍රමාණයට එළවළු නිෂ්පාදනය කිරීමට ගොවීන්ට නොහැකි වුණා. නිෂ්පාදනය අඩුවූ විට මිල වැඩිවුණා.  සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාස වන විට මේ තත්වය උග්‍ර වුණා. නමුත් එම ගැටළුව විසදීමට අප කටයුතු කළා.
    විශේෂයෙන් ජීවන වියදම කමිටුවත්, සතොසත්, පුද්ගලක අංශයත් සම්බන්ධ කරගනිමින් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලක් අප ආරම්භ කළා. භාණ්ඩ ගණනාවක මිල මේ වන විට යථා තත්වයට පත්වෙමින් තිබෙනවා. ඉදිරි මාස දෙක තුන තුල තව දුරටත් බඩු මිල අඩුවනු ඇති බව අපේ බලාපොරොත්තුවයි. ඒ වගේම සිංහල අළුත් අවුරුදු සමය වනතුරුම සහන මිලට ජනතාවට භාණ්ඩ ලබාදීමට අපි කටයුතු කරනවා.
    රට තුල එළවළු නිෂ්පාදනය මේ වන විට වැඩි වී තිබෙනවා. සහල් ආනයනය කිරීමට අපි පියවර ගත්තා. එන කන්නයේදී තවත් සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමට අපි පියවර ගන්නවා. පොල් ආනයනය කිරීම තහනම් කර තිබෙන බැවින් පොල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් ද අප කටයුතු කරමින් සිටිනවා. සහල් කිලෝවක මිල රුපියල් 100ක් වන බවට ඇතමුන් චෝදනා කළත් මෙම මෙගා වෙළඳ සැල තුල සහල් කිලෝව රුපියල් 62.00 සිට විවිධ සහල් වර්ගවලින් තිබෙන බව මම දුටුවා. තමන් කැමති වර්ගයක සහල් තමන් කැමති මිලකට ලබාගැනීමේ හැකියාව මෙහිදී ජනතාවට ලැබෙනවා. සතොසත් පුද්ගලික අංශයත් යන දෙකෙහිම මෙම තත්වය මේ වන විට ඇති කර තිබෙනවා.
    රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් ගණනාවක් අද ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙනවා. එම සියලූ ආයතන ඒකාබද්ධ කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සහන මිලට ජනතාවට ලබාදීමට අප මේ වන විට තීරණය කර තිබෙනවා. නමුත් සුපිරි වෙළඳසැල් හරහා භාණ්ඩ මිලදි ගන්නේ 25% 30%  පමණ ප්‍රමාණයක් පමණයි. ශ්‍රී ලංකාව පුරා සිල්ලර වෙළඳසැල් ලක්ෂයක අධික ප්‍රමාණයක් තිබෙනවා. අපි තීරණය කළ සහන බඩු මල්ල එම සිල්ලර වෙළඳසැල් සඳහාද එම මිලටම ලබාදීම අප කටයුතු කරමින් සිටිනවා. සතොස හෝ වේවා පුද්ගලික අංශය හෝ වේවා ඕනෑම වෙළඳ ආයතනයක් හරහා සාධාරණ මිලට එම අත්‍යවශ්‍ය බඩු මල්ල ජනතාවට ලබාදීමයි අපේ රජයේ ආරමුණ වී තිබෙන්නේ.
    රට පුරා නව සැපයුම් ක්‍රමයක් ඇති කිරීමට වසරක පමණ කාලයක් ගතවෙනවා. එම සැපයුම් ක්‍රමවේදය තුල මිල තීරණය කිරීමේ විශාල වැඩ කොටසක් සතොසට පැවරී තිබෙනවා. දේශගුණය වෙනස්වීම හරහා ඉහල ගිය බඩු මිල හේතුවෙන් ගෘහ ආර්ථිකයට එල්ල වූ බලපෑම අවම කිරීමට අප කටයුතු කළ ආකාරයටම ජාතික ආර්ථිකයට එල්ල වූ බලපෑම අවම කර ගැනීමටත් අපේ රජයට හැකියාව ලැබී තිබෙනවා.  අපේ රජයට එය ඉටු කිරීමට නොහැකි වූවා නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ තිබුණා.
     අප භාරගත්තේ ණය බරින් මිරිකී තිබූ ආර්ථිකයක් සහිත රටක්. ක්‍රමානුකඣලව මුදල් එකතු කරමින් ණය ගෙවීම අප දැන් ආරම්භ කර තිබෙනවා. නියගයට සහ ගං වතුරට රට මුහුණ දෙන විට රටේ ආර්ථිකය කඩා වැටේවි යැයි ඇතමුන් කල්පනා කළා. නමුත් අපේ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගවල ශක්තිමත්භාවය නිසා ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවුණේ නැහැ. කෘෂිකර්ම ක්ෂේත්‍රය කඩා වැටීම නිසා ආර්ථිකයේ වර්ධනය -1.2කින් අඩාල වුණා. තේ, රබර් වල මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වූ නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආර්ථික වර්ධනය මීට වඩා පහල මට්ටමකට පත්වුණේ නැහැ.
    ඒවගේම ආහාර නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය තුල ආහාර නිෂ්පාදනය ද යම් තරමකින් අඩු වුණා. ඊට හේතුව වූයේ ආහාර බෝග නිෂ්පාදනය පහත වැටීමයි. නමුත් පසුගිය වසර දෙක තුල අනුගමනය කළ පියවර නිසා රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට අපට හැකිවුණා. 2018 වසරේ සිට විදේශීය හා පුද්ගලික ආයෝජන හරහා මීටත් වඩා ආර්ථික වර්ධනය වේගවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
    මේ සියලු දේ සිදුකරන අතරතුර ප්‍රධාන පරමාර්ථය වන්නේ සාධාරණ මිලකට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya