මේ වනවිට හාල්, පරිප්පු, හාල්මැස්සන්, ටින්මාළු, අල, ළූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් සඳහා මිල සහනය ලබාදීමට පසුගිය සඳුදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ද, අඟහරුවාදා දිනයේ තමාගේ ප්‍රධානත්වයෙන් ද කැබිනට් මණ්ඩලයේ ජීවන වියදම් පාලන කමිටුව රැස්වීමේදී ලබාදීමට තීරණය කළ බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.
මෙම දෙසැම්බර් මාසය ආරම්භ වනවිට ආරම්භ කළ භාණ්ඩ මිලදී ගැනීමේ සහන සැලසීමේ වැඩසටහන හරහා නිවිතිගල ආදී කොළඹින් බැහැර ප්‍රදේශවලට මෙම මාසය අවසන් වනවිට සහන මිලට භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.
නිවිතිගල නගරයේ ඉදිකරන ලද නව බස් නැවතුම්පොළ සහ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (16) සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. නිවිතිගල නව බස් නැවතුම් පොල සහ සති පොළට අවශ්‍ය නව ගොඩනැගිලි දෙක මෙදින ජනතා අයිතියට පත්කිරීම සිදු විය.
සතියේ එක් දවසකට පමණක් ප්‍රයෝජනයට ගැනෙන මෙම නව සතිපොළ ගොඩනැගිල්ල හරහා වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නේ කෙසේදැයි නිවිතිගල වෙළෙඳ සංගමයට කල්පනා කර බැලිය හැකි බව පෙන්වා දුන් අගමැතිවරයා මෙතරම් මුදලක් වියදම් කරමින් මෙය ඉදිකළ නිසා සතියේ දින හතේම ඉන් ප්‍රයෝජන ගත යුතු බව ද සඳහන් කළේය.
මේ ආකාරයට සති පොළ, වෙළඳ සංකීර්ණය දියුණු කිරීම වැදගත් බවත් සාධාරණ මිලකට ජනතාවට බඩු භාණ්ඩ ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් වික්‍රසිංහ මහතා පෙන්වා දුන්නේය.
මේ දිනවල භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. බොහෝ තැන්වලදී හාල්, පොල්, හාල්මැස්සන් ආදියේ මිල වැඩිවීම සම්බන්ධයෙන් ජනතාව මගෙන් ප්‍රශ්න කර සිටිනවා. මෙය ශ්‍රී ලංකාවේ මීට පෙර නොතිබූ තත්ත්වයක්. ලෝක වෙළඳපොළෙහි මිල අඩුවන විට ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ මිල අඩුකිරීමත්, ලෝක වෙළඳපොලේ මිල වැඩිවන විට ඊට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල අඩු කිරීමත් අපේ ප්‍රතිපත්තිය වුණා. ඉන්ධනවල මිල අඩු කිරීමට අපට හැකියාව ලැබුණේ ඒ ආකාරයටයි.
නමුත් අද අපේ රට තුළ අප එදිනෙදා භාවිතා කරන භාණ්ඩවල මිල විශාල ලෙස වැඩි වී තිබෙනවා. අවුරුද්දේ මේ කාලය වන විට මෙම තත්ත්වය පාලනය වේ යැයි අප කල්පනා කළා. මෙම තත්ත්වයට හේතුව වන්නේ පසුගිය කාලය පුරා රටේ ඇතිවූ අයහපත් දේශගුණික තත්ත්වයයි.
සහන මිලට භාණ්ඩ ලබාදීමේ වැඩකටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාමීය ප්‍රදේශවලට භාණ්ඩ බෙදාහැරීම සිදු කරන්නේ සතොස හරහායි. නමුත් සමස්ත දිවයින තුලම සතොස ආයතන හෝ ශාඛා තිබෙන්නේ 3000 ක් වැනි ප්‍රමාණයක්. එම නිසා මෙම වැඩකටයුත්තට පුද්ගලික අංශයද සම්බන්ධ කර ගැනීමට අපි තීරණය කළා. ඒ අනුව මෙම සාකච්ඡාවට කාර්ගිල්ස්, කීල්ස්, ලාෆ්, රිචඩ් පීරිස් වැනි සමාගම් ද එක්කර ගත්තා. මෙම සමාගම් හරහා බඩු භාණ්ඩ මිලදී ගන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 1/3 ක පමණ පිරිසක්. ඒ නාගරික ජනතාවයි. එම නිසා එම අත්‍යවශ්‍ය භාණ්ඩ ග්‍රාමීය ප්‍රදේශ වෙත බෙදාහැරීමේ ක්‍රියාවලියක් ද අපි ඇති කළා. ඒ සඳහා ද පුද්ගලික අංශය සම්බන්ධකර ගැනීමට කටයුතු කලා. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානද මීට සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත මෙම භාණ්ඩ ග්‍රාමීය ප්‍රදේශ වෙත ළඟාවී ඒවා ගමේ සිල්ලර වෙළඳ සැල්වලින් මිලදී ගැනීමට හැකි තත්ත්වයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි.
රටේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ආරම්භ කරනවා. කාර්ගිල්ස් සමාගම තම බඩු මිල පහත හෙලීම ඊයේ දිනයේදී නිවේදනය කළා. නමුත් එම භාණ්ඩ මෙවැනි කොළඹින් බැහැර ප්‍රදේශවලට පැමිණීමට කෙටි කාලයක් ගත වනවා. ඒ අනුව රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම සැපයුම් සේවාවල සහයෝගය ලබාගනිමින් මෙම සහනය ජනතාවට ලබාදීමට අපි කටයුතු කරනවා. එළඹෙන අප්‍රේල් මාසය වනතුරුම මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනවා.
අප්‍රේල් මාසය වන තුරුම ජනතාවට මෙම සහනය ලබාදීමට අප තීරණය කලේ ඇයි? සාමාන්‍යයෙන් ජනවාරි, පෙබරවාරි මාසයන් වන විට බඩු මිල ඉහළ යනවා. එම කාලසීමාව වන විට තවත් බඩු මිල ඉහළ යනවා නම් එය නිවසේ ආදායමට විශාල ප්‍රශ්නයක් වනවා. අනෙක් කාරණය නම් ඉදිරි වසර දෙක තුළ අපට විශාල වශයෙන් ණය ගෙවීමට සිදුව තිබෙනවා. ලංකාවේ විශාලම ණය ගෙවන කාලය වන විට ඊට සාපේක්‍ෂව රටේ උද්ධමනයද වැඩි වීමට හැකියාව තිබෙනවා. අපේ ණය ගෙවීමත් අප අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. එයත් රටේ සාමාන්‍ය ජනතාවට විශාල ප්‍රශ්නයක් විය හැකියි. අප අප්‍රේල් මාසය වන තුරුම ජනතාවට මෙම සහනය ලබාදීමට තීරණය කලේ එම නිසයි.
අනෙක් ප්‍රධාන කාරණය නම් වර්ෂාවයි. මේ රටේ කෘෂිකර්මාන්තය රදා පවතින්නේ වර්ෂාව මතයි. මෝසම් වැසි ක්‍රමයට අනුව අපි වගා කිරීමේ කටයුතු සිදු කරනවා. නමුත් වර්ථමානයේ අපේ දේශගුණික රටාවේ යම් වෙනසක් ඇති වී තිබෙනවා. පසුගිය කාලය තුළ අප බලාපොරොත්තු වූ ආකාරයට වර්ෂාව ලැබුණේ නැහැ. දේශගුණික රටාව අප බලාපොරොත්තු වූ ආකාරයට ක්‍රියාත්මක වූයේ නැහැ. 2016, 2015 වසර තුළ අප මෙම තත්ත්වය දුටු අතර 2017 දී එම තත්ත්වය උග්‍ර වුණා. කන්න 4ම ගොවිතැන් කිරීමට නොහැකි වූ ප්‍රදේශ තිබෙනවා. පොල් වගාව සඳහා ද මෙම තත්ත්වය බලපෑවා.
වර්ෂාව අවශ්‍ය කාලයේ දී නියඟයක් ඇති වුණා. නියඟය ඇති වීමට තිබූ කාලයේ දී අනපේක්‍ෂිතව ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ඒ අනුව ප්‍රදේශයත් ගංවතුරට යට වුණා. දේශගුණික රටාවේ විශාල වෙනසක් ඇති වුණා. මේ නිසා දේශගුණික තත්ත්වය පිළිබඳව අනාවැකි පැවැසීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ජලය නොමැතිකම හේතුවෙන් රජරට වී ගොවිතැනත්, නුවරඑළියේ එළවළු වගාවත් අත්හැර දැමීමට එම ගොවීන්ට සිදු වුණා. එවැනි විවිධ ගැටලු ඇති වුණා. මේ හරහා සමස්ත ලංකාවේම ආහාර නිෂ්පාදනය අඩාල වුණා. අද වෙළඳපොළේ අපට දක්නට ලැබෙන මිල ඉහළ යාමට හේතුව එයයි.
එම නිසා මූලික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ආනයනය කරමින් මිල පාලනය කිරීමට අප තීරණය කළා. සහල් අවශ්‍ය ප්‍රමාණයට ගෙන්වීමට අප තීරණය කළා. මේ වනවිට ටොන් 50,000 ක් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙනවා. අවශ්‍ය හිඟ භාණ්ඩ ආනයනය කරමින් මිල පාලනයක් පවත්වා ගැනීමට අප තීරණය කර තිබෙනවා.
අපට ආනයනය කිරීමට අපහසු භාණ්ඩය වන්නේ "පොල්". පොල් ආනයනය කෘෂිකර්ම අමාත්‍යංශය විසින් තහනම් කර තිබෙනවා. නමුත් අනෙක් සෑම භාණ්ඩයක්ම ආනයනය කිරීමට හැකියි.
අප මේ වනවිට ආරම්භ කර ඇති රාජ්‍ය සහ පුද්ගලික සමාගම්හි ඒකාබද්ධ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කරනවා නම් අනාගතයේදී අවශ්‍ය බඩු භාණ්ඩ ගැටළුවකින් තොරව ලබා ගැනීමේ හැකියාව ජනතාවට ලැබෙනවා. මීට පෙර එවැනි තත්ත්වයක් නොතිබුණත් රජයක් ලෙස ජනතාවට සාධාරණ ආහාර මිලක් ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.
ඒ වගේම සියලුම ජනතාවට සමානව අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ආදී පහසුකම් ලබාදීමට අප කටයුතු කරනවා. සියලුම දෙනාට ජීවත් විය හැකි සමාජයක් අප නිර්මාණය කරනවා. ඒ සඳහා සාධාරණ මිලකට ප්‍රධාන ආහාර වර්ග ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. මෙය ආණ්ඩුවට අපහසු කාර්යයක් වුවත් එය ආණ්ඩුවක මූලික යුතුකම බව අපි අවබෝධ කරගෙන සිටිනවා. එම යුතුකම ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අපි කැපවී සිටිනවා.
අපට මුහුණ දීමට ඇති එකම ගැටළුව වන්නේ පොල් හිඟයයි. ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට 2019 - 2020 පමණ වන තුරු බලා සිටීමට සිදු වනවා. එම නිසා ඒ වෙනුවෙන් ගත යුතු පියවර කුමක්ද යන්න පිළිබඳවත් අප දැන් සාකච්ඡා කරමින් සිටිනවා. නමුත් අනෙක් සෑම භාණ්ඩයක්ම සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ වැඩසටහන අප ඉදිරියට ගෙනයමින් අනාගතයේදී මීටත් වඩා හොඳ යාන්ත්‍රණයක් ඇති කරමින් අපේ රටේත් අනෙක් රටවලත් දේශගුණික තත්ත්වයන්ට අනුව නිෂ්පාදනයට අවධානය යොමු කරමින් අප කටයුතු කිරීමට බලපොරොත්තු වනවා. ජනතාවට සහන සැලසීමේ එම වැඩසටහන ඉදිරියටත් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අපේ රජය කැපවී සිටින බව සිහිපත් කිරීමට කැමැතියි.