නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැඳුම්කර කොමිසම පත්කළේ යහපාලන පොරොන්දු ඉටු කිරීමටයි - ජනපති පවසයි

    නොවැම්බර් 08, 2017

    බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපති පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමිනි.

     

    මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඒ සඳහා වැරදිකරුවන් වන සියලූදෙනා වගකිව යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපති පැවති දූෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සඳහා වූ ඉතා පවිත‍්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බව ද අවධාරණය කළේය.

     

    සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සියලූදෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපති අවධාරණය කළේය.

     

    තමා ජනාධිපති ධූරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධූරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද මෙහිදී පැවසූ ජනපති තමන් විසින් නිවැරදිව සිදුකරනු ලබන කටයුතු සඳහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලූදෙනාගේ වගකීමක් බවද ප‍්‍රකාශ කළේය.

     

    ලබන ජනවාරි 08 වනදාට වසර 03 ක් සපිරෙන යහපාලන රජය විසින් ඉටුකරන ලද යහපත් දේ ජනතාව අතරට ගෙන යා යුතු මෙන්ම ආණ්ඩුවේ ඇතැම් සුළු පිරිසක් විසින් සිදුකරන ලද වැරදි නිවැරදි කර ගනිමින් යහපත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට තවමත් අවස්ථාව පවතින බව ද ජනාධිපති මෙහිදී සඳහන් කළේය.

     

    පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලූදෙනා කැපවීම බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ පිළිරුව සඳහා අද මුල්ගල් තැබුණේ ද ජනාධිපතිතුමා අතිනි.

     

    අනතුරුව අපේගම පරිශ‍්‍රයේදී ප‍්‍රධාන ගුණසමරු උත්සවය පැවැත්විණි.

     

    කෝට්ටේ ශ‍්‍රි කළ්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය නිලධාරින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, මාඳුළුවාවේ සෝභිත හිමි ගුණ සමරු කමිටුවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya