මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ පැවති කතෝක ගුරු දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) මේ බව සඳහන් කළේය.
නමුත් අද එවැනි චරිත නිර්මාණය කිරීමක් සිදු නොවනු අතර ඒ වෙනුවට විශාල උපකාරක පන්ති සහ ජාත්‍යන්තර පාසැල් නිර්මාණය වී තිබෙන බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.
"අද කතෝලික ගුරු දිනයේ 25 වන සංවත්සරයයි. මෙහිදී කතෝලික ගුරුවරුන් සිදු කළ සේවය අගය කෙරෙනවා. එය ඉතා වැදගත් කාර්යයක්. කතෝලික සභාව සහ එහි ගුරුවරුන් ලෝකයේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකර තිබෙනවා. අතීතයේදී ජනතාව අධ්‍යාපනය ලබාගත්තේ ආගමික ස්ථාන මුල්කරගෙනයි. අතීතයේ ශ්‍රී ලාංකික ජනතාව වෙහෙර විහාර ආශ්‍රිතව අධ්‍යාපනය ලබාගත් අතර යුරෝපීය ජාතිකයන් අතීතයේදී අධ්‍යාපනය හැදැරූවේ ක්‍රිස්තියානි පල්ලිය හරහායි.
යුරෝපයේ ඇතැම් අධ්‍යාපන ආයතන පසුව උසස් අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත්වූ අතර, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත්වුණේ පිරිවෙන් අධ්‍යාපනයයි. 17 වන ශත වර්ෂය පමණ වන විට උසස් අධ්‍යාපනය ලබාදුන් ආගමික සිද්ධස්ථාන විශ්වවිද්‍යාල බවට පත්වුණා. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, බොලොන්ග්නා, පැරිස් ආදී විශ්වවිද්‍යාල ඊට උදාහරණ ලෙස හැදින්විය හැකියි. 18 වන ශත වර්ෂය තුළ එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත්‍ර ආගමික සභාව විසින් වර්තමානයේ පවතින නවීන පාසැල් ක්‍රමවේදයේ මූලාරම්භය ඇතිකළා. ඒ හරහා ඇතිවූ ක්‍රම වේදය 19 වන ශත වර්ෂය පමණ වන විට ශ්‍රී ලංකාවට පැමිණියා.
ශ්‍රී ලංකාවේ පළමුවෙන් පාසැල් ආරම්භ වුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේයි. එංගලන්ත සභාව විසින් ආරම්භ කළ ඇතැම් පාසැල් ආගමික පසුබිමක් සහිත පාසැල් වුණා. එංගලන්ත සභාව විසින් ශ්‍රී ලංකාව තුළ පාසැල් කිහිපයක් ආරම්භ කළා. එවිට අනෙක් ආගම්වල ප්‍රධානත්වයෙන් ද අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට අවස්ථාව ලබාදිය යුතු යැයි පවසමින් රටේ උද්ඝෝෂණයක් ඇතිවුණා. ඒ අනුව අනෙක් ආගම්වලට පාසැල් ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීමටත් එම පාසැල් සඳහා රජයේ ආධාර ලබාදීමටත් තීරණය කෙරුණා. එම තීරණය ගැනීමට මුල්වුනේ එවකට ශ්‍රී ලංකාවේ අගරදගුරු ලෙස කටයුතු කළ ක්‍රිස්ට්‍රෝපර් බොන්ජියන් පියතුමායි. හින්දු ආගමේ නාවලර් මැතිතුමා, බොන්ජියන් අගරදගුරු පියතුමා ආදී පුද්ගලයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා.
ඉන්පසුව රට තුළ හින්දු, කතෝලික, මුස්ලිම්, බෞද්ධ පාසැල් ආරම්භ කිරීමට කටයුතු කෙරුණා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් කතෝලික සභාව පියවර රාශියක් ක්‍රියාත්මක කළා. දිවයිනේ විවිධ ගම්මාන තුළ කතෝලික සභාවේ ප්‍රධානත්වයෙන් පාසැල් ආරම්භ කෙරුණා. ඒ හරහා රටේ විශාල දියුණුවක් ඇතිවුණා. ශ්‍රී ලංකාවේ ජනතාව 1920 – 1930 පමණ වන කාලයේදී අධ්‍යාපනය ලැබුවේ ඒ ආකාරයට ආරම්භ වූ පාසැල් ආශ්‍රිතවයි. ඒ කාලය වන විට දිවයිනේ රජය විසින් පාලනය වන පාසැල් ද ආරම්භ කර තිබුණා. නමුත් රජය විසින් පාලනය නොකරන , විවිධ සංගම් වල ආධාර යටතේ ක්‍රියාත්මක වන පාසැල් බොහෝ ප්‍රමාණයක් ද ඒ වන විට ශ්‍රී ලංකාවේ පැවතුණා.
ඒ යටතේ ආනන්ද, නාලන්ද, විශාකා ආදි බෞද්ධ පාසැල් ද, කතෝලික සභාව විසින් පාලනය වූ ශාන්ත ජෝශප්, ශාන්ත බ්‍රිජට් ආදී විශාල පාසැල් ප්‍රමාණයක් ද, හින්දු ආගමික සභාව විසින් පාලනය කළ පාසැල් ද, මුස්ලිම් පාසැල් ද, ශ්‍රී ලංකාව තුළ ආරම්භ වී තිබුණා. මේ සියලූ ආගමික සභාවන් තමන් පාලනය කරන පාසැල්වල ගුරුවරුන් පුහුණු කිරීමේ ක්‍රම වේදයක් ද ක්‍රියාත්මක කළා. ඒ තම පාසැල්වල දරුවන්ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සදහායි.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අයෙක්. ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව නොලැබුණේ නම් ජනාධිපතිවරයෙක් බවට පත්වීම ඉතා අපහසු කටයුත්තක් වන බව එතුමා වරෙක මා සමඟ පවසා සිටියා. මම එතුමාව බොහෝ ළඟින් ඇසුරු කරමින් කටයුතු කළ අයෙක් නිසා බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් මා දන්නවා. එනම් සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයම පිළිබදව එතුමාට විශාල දැනුමක් තිබුණා. ඇතැම් නිලධාරීන් රැගෙන එන ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණ ලේඛන ආදියෙහි ඇති දෝෂ සහිත තැන් එතුමා විසින්ම නිවැරදි කළා. එම ලේඛනයේ ඇති දෝෂය මෙය යැයි එම නිලධාරින්ට අවබෝධ කර දුන්නා.
භාෂා ද්විත්වයම පිළිබදව එතරම් දැනුමක් ලබා ගැනීමට තමන්ට හැකියාව ලැබුණේ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ලැබූ අධ්‍යාපනය නිසා බව එතුමා පැවසුවා. එතුමා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුනේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුවයි. කතෝලික ආගමේ මෙන්ම අනෙක් ආගම්ද නියෝජනය කරමින් රටට වැඩදායි පුද්ගලයන් විශාල පිරිසක් බිහිකිරීමට ශාන්ත ජෝශප් විද්‍යාලයට හැකිවී තිබෙනවා.
කතෝලික සභාවේ එක් කොටසක් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් කටයුතු කළ අතර, තවත් කොටසක් දිවයිනේ රෝහල්වල සෞඛ්‍ය සේවා කටයුතු වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමානයේ මෙන් වර්ජන පැවතුනේ නැහැ.
කෙසේ නමුත් 1961 වසරේදී සියලූම පාසැල් රජයට පවරා ගැනීමට තීරණය කෙරුණා. පාසැල වෙනුවෙන් සම්පූර්ණ වියදම දැරීමට හැකි සුළු පිරිසකට තම පාලනය යටතේ පාසැල් පවත්වාගෙන යාමට අවසර ලබාදුන්නා. ඩඩ්ලි සේනානායක මැතිතුමා සහ ජේ. ආර් ජයවර්ධන මැතිතුමා මීට විරෝධය දැක්වූ බව ඒ සම්බන්ධ විවාදය නැවත කියවන විට මට දැක ගන්නට හැකිවුණා. මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් රටේ අධ්‍යාපනය විශාල කඩාවැටීමකට ලක්වේ යැයි ඔවුන් පැවසුවා. අවශ්‍ය පාසැල් පමණක් ක්‍රමානුකූලව රජයට පවරා ගෙන අනෙක් පාසැල්වල පාලනය පුද්ගලික අංශයටම පවරා දිය යුතු යැයි ඔවුන් එදා යෝජනා කළා.
කෙසේ වුවත් සියලුම පාසැල්වල අධ්‍යාපනය ලබා දීමට ගාස්තු අයකිරීමක් සිදු වුණේ නැහැ. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රජයෙන් මුදල් ලබාදුන්නා. ඒ අනුව පාසැල් ගණනාවක් රජයට භාරදුන්නා. පුද්ගලික පාසැල් ස්වල්පයක් පමණක් ඉතිරි වුණා. බෞද්ධාගම යටතේ ක්‍රියාත්මක වූ මියුසියස් විද්‍යාලය හැර අනෙකුත් සියලුම පාසැල් රජයට භාරදුන්නා. නමුත් කතෝලික සභාව තමන්ට පාලනය ගෙන යාමට හැකි පාසැල් කිහිපයක් ඔවුන් යටතේ තබා ගත්තා. බෞද්ධාගම යටතේ පාලනය වූ පාසැල් කිහිපයක් හෝ රජයට පවරා නොදී තම පාලනය යටතේ ඉදිරියට පවත්වාගෙන ගියා නම් එය බෞද්ධාගමික අධ්‍යාපනයට විශාල ප්‍රයෝජනයක් වන්නට තිබුණා. මා එය දකින්නේ බෞද්ධාගමිකයන් වන අප අතින් සිදුවූ වරදක් ලෙසයි. අද වන විට බෞද්ධ පාසැල් හිඟයක් ඇතිවූ තිබෙනවා.
1961 ඒ ආකාරයට පවරා ගත් පාසැල්වල නිසියාකාර ක්‍රම වේදයක් ඇතිකිරීමට හැකියාව ලැබුණේ මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුවයි. අධ්‍යාපන අමාත්‍යවරයා වූ අවධියේ පළමු වසර දෙක මා යොදා ගත්තේ පවරා ගත් පාසැල් නිසි ක්‍රමවේදයකට ඇතුලත් කිරීමටයි. නමුත් බෞද්ධ සංගම්, එංගලන්ත සභාව සහ කතෝලික සභාව ආදිය විසින් එම පාසැල් තුල ඇතිකර තිබූ පදනම මතයි අප එම පාසැල් ඉදිරියට ක්‍රියාත්මක කළේ. අවාසනාවකට අද පවතින පාසැල් ක්‍රමය තුළ එම ආගමික සභාවන් විසින් ඇතිකළ පදනම ගිලිහී ගොස් තිබෙනවා.
පාසැල් ආරම්භ කරන්නේ දරුවන් විභාගයකින් සමත් කිරීමට පමණක් නොවෙයි. පාසැල්වල ප්‍රධාන අරමුණ වන්නේ දරුවන් තුළ හොඳ චරිතයක් නිර්මාණය කිරීමයි. නමුත් අද එවැනි චරිත නිර්මාණය කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට විශාල උපකාරක පන්ති සහ ජාත්‍යන්තර පාසැල් නිර්මාණය වී තිබෙනවා. ඒ කාලයේ පාසැල් සියල්ලම රජයට පවරා ගන්නේ නැතිව කොටසක් රජයටත්, ඉතිරි කොටස එම පාසැල් ආරම්භ කළ ආගමික සභාවලටත් භාරදුන්නා නම් අද වනවිට රටේ අධ්‍යාපනය මීට වඩා දියුණු මට්ටමක පවතින බව මගේ විශ්වාසයි. එම තීරණය සම්බන්ධයෙන් අප කණගාටු විය යුතුයි.
අද වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විදෙස් ගත වෙනවා. නමුත් අතීතයේදී ශ්‍රී ලංකාව වටා පිහිටි ඉන්දියාව, සිංගප්පූරුව ආදී බොහෝ රටවල ශිෂ්‍යයන් අධ්‍යාපනය හැඳෑරීම සඳහා මෙරටට පැමිණියා. එසේ නම් හොඳ අධ්‍යාපනික පසුබිමක් සහිතව ශ්‍රී ලංකාවේ පාසැල් ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාම අප සතු කාර්යභාරය වනවා. දැනට රජයෙන් ආධාර ලබන පාසැල් සහ ඒවායේ ගුරුවරුන් වෙත අප මීටත් වඩා ආධාර උපකාර කරමින් අවධානය යොමු කළ යුතුයි.
තම දරුවාට පාසැල්වලින් ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා නම් රටේ ජනතාවගෙන් අධ්‍යාපන ඇමතිවරයාට එල්ලවන බලපෑමත් අඩුවෙනවා. දෙමව්පියන් ඇතැම් ජාත්‍යන්තර පාසැල් වෙනුවෙන් දරණ වියදම දුටු විට මා පුදුමයට පත්වෙනවා.
එසේ නම් කතෝලික සභාව සහ එහි ගුරුවරුන් එදා කළ සේවය අප අගය කළ යුතුයි. ඒ පසුබිම හරහා ආරම්භ වූ අධ්‍යාපන ක්ෂේත්‍රය තවත් දියුණු කළ යුත්තේ කෙසේදැයි අප කල්පනා කළ යුතුයි. එමනිසා කාදිනල් තුමා සමඟත්, අනෙක් ආගමික සභා සමගත් සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ලබාදීමට මම අධ්‍යාපන ඇමතිතුමාට උපදෙස් ලබාදුන්නා. අප රජයක් ලෙස දැනට ආධාර ලබාදෙන පාසැල්වල අධාර තවත් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම එම පාසැල්වලට, ආසන්නයේ තිබෙන තවත් පාසැලක් දියුණු කිරීමේ අවස්ථාව ලබාදීමටත් අප තීරණය කර තිබෙනවා. ඒ හරහා පාසැල් දෙකම පෝෂණය වීම සිදුවෙනවා. මේ ආකාරයට අධ්‍යාපනය දියුණු කිරීමේ නව මාර්ග වෙත අප අවධානය යොමු කළ යුතුයි.
හොඳ අධ්‍යාපනයක් නොමැති රටක් අනාගතයක් නොමැති රටක් බවට පත්වෙනවා. වර්තමානයේ අපි ලබා ඇති දියුණුවට හේතුව 19 වන ශත වර්ෂය පමණ වන විට ලංකාවේ අධ්‍යාපනයේ ඇති වූ දියුණුවයි. එසේ සිදු නොවුනා නම් අප කඩා වැටුණු රාජ්‍යයක් බවට පත්වෙනවා. කුඩා රටක් වුවත් දිවයිනේ සැම ප්‍රදේශයකම පාසැල් ක්‍රියාත්මක වුණා. කොළඹ, නුවර, යාපනය, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, කුරුණැගල ආදී විවිධ ප්‍රදේශවල පාසැල් විශාල සංඛ්‍යාවක් පැවතුණා. කුමන ආගමික සභා යටතේ පාලනය වුවත් රටක් ලෙස අප ඉදිරියට පැමිණිමට එම පාසැල් විශාල සේවාවක් සිදුකළා.
අතරමඟ බිද වැටුණු එම අධ්‍යාපන ක්‍රම වේදය අප නැවතත් ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් ඉටුකරමින් සිටිනවා. එහි වැදගත්ම කාර්යය වන්නේ හොඳ ගුරුවරුන් බිහිකිරීමයි. හොඳ ගුරුවරුන් නොමැති නම් පාසැල් ඉදිරියට ගෙන යාමට නොහැකියි. දැනුමෙන් සහ විනයෙන් පරිපූර්ණ අධ්‍යාත්මික පසුබිමක් සහිත ගුරුවරුන් රටට අවශ්‍යයි. රජයේ හෝ පුද්ගලික අංශයන්වල සියලූම පාසැල් සඳහා මෙය අදාලයි. ඒ වගේම එම ගුරුවරුන් අගය කළ යුතුයි. එසේ නම් රටේ පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඔබ සිදුකර තිබෙන සේවය මම අගය කරනවා. ඔබේ සේවය අනාගතයේත් රට වෙනුවෙන් ලැබේවී යැයි මම බලාපොරොත්තු වන අතර ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. රජයේ පාසැල් සහ ආධාර යටතේ පාලනය වන පාසැල් යන දෙඅංශයම රටේ පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමේ වැඩපිළිවෙලට එක්කාසු කර ගැනීමට රජයක් ලෙස අප බලාපොරොත්තු වෙනවා. "