අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකාධිපති පාලනයකට නැවත ඉඩක් නෑ - ජනපති

    ජූලි 07, 2017
    2015 ජනවාරි 08දා තමා මේ රටෙන් අවසන් කර දැමුයේ ඒකාධිපති සහ මිලිටරි පාලනයක් වන අතර එවන් පාලනයකට නැවත රට තුළ ඉඩක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    වෙස්මුහුණු බැඳ ගනිමින් ජනතාවට සුන්දර ලෝකයක් පෙන්වා යළිත් බලයට ඒමට ඇතැමුන් කරන කුමන්ත‍්‍රණ පිළිබඳ අද රටේ ජනතාවට අවබෝධයක් තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පෙරවරුවේ ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
     
    වත්මන් රජය වැඩ බැරි, අසාර්ථක රජයක් ලෙස පෙන්වා සංවර්ධනය පිළිබඳ සුරංගනා කතා කියන පිරිස එදා සංවර්ධනයට මුවා වී සිදු කළ සියලු වංචා හා දූෂණ මේ රටේ ජනතාවට හෙළි කිරීමට ඉදිරියේදී රජය සූදානම් බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    2015 ජනවාරි 07දා එනම් ජනාධිපතිවරණයට පෙර දින කිසිඳු රාජ්‍ය ආයතනයක් වැඩ නොකළ දිනක ගිං නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා කෝටි ගණනක චෙක්පතක් නිකුත් කිරීමේ සිදුවීම පිළිබඳ කළ ප‍්‍රකාශයට අභියෝග කරමින් වංචාවක් තිබේනම් හෙළි කරන ලෙස පැවසුවත් එම වංචාව පිළිබඳ කරුණු මේ වන විට තහවුරු වී තිබෙන අතර එම මුදල්වලට සිදු වුයේ කුමක්දැයි ළඟදීම ජනතාවට අනාවරණය කළහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව දේශපාලන තීන්දු මත ඉතා දූෂිත අන්දමින් ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය රටට කර තිබෙන විනාශය ද සුළු පටු නොවන අතර ඒ පිළිබඳවද නිවැරදි තොරුතුරු මේ වන විට සිදු කෙරෙන පර්යේෂණවලින් අනාවරණය වෙමින් තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    තවත් මේ රටේ ජනතාව මුලා කරන්නට උත්සාහ කරන බලලෝභී දේශපාලන කුමන්ත‍්‍රණ පරාජය කිරීමට සියලුදෙනා එක් විය යුතු බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ආණ්ඩු පෙරළන්නට නොව රටත් ජනතාවත් ඳුගී භාවයෙන් නිදහස් කර ගනිමින් පසුගිය රජය රටට උරුම කළ කෝටි ගණනක ණය බරින් රට නිදහස් කර, රට සංවර්ධනය කරා ගෙන යන්නට සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.
     
    මාධ්‍යයට අද නිදහසේ රජය විවේචනය කිරීමටත්, ඕනෑම අයෙකුට නිදහසේ උද්ඝෝෂණ සහ පෙළපාලි යාමටත් නිදහස ලබාදීමට හැකිවීම පිළිබඳ තමා නිහතමානීව සතුටු වන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    වයඹට අවශ්‍ය ජලය පිළිබඳව ගෙවීගිය දශක කිහිපය තුළ දේශපාලන වේදිකාවේ සියලු දේශපාලන පක්ෂ කතා කළ ද ඒ සඳහා නිසි විසඳුමක් ලැබුණේ වත්මන් රජය ආරම්භ කළ මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් බවද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මොරගහකන්ද ජලාශයේ ප‍්‍රතිඵලයක් ලෙස කි‍යාත්මක කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතිය තුළින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් අමුණු 300 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිසංස්කරණය කෙරෙන අතර ඒ තුළින් දිස්ත්‍රික්කයේ කෘෂි සහ වාරි ක්ෂේත‍්‍රයේ මෙන්ම ගොවි ජන ජීවිතයේ ද විශාල පරිවර්තනයක් සිදු වනු ඇති බව කියා සිටියේය.
     
    ගල්ගමුව වාරිමාර්ග අභ්‍යාස ආයතනයේ පරිපාලන ගොඩනැගිල්ල අද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. අභ්‍යාස ආයතනය වෙත නව සිසුන් ඇතුළත්කර ගැනීම සංකේතවත් කරමින් සිසුන් තිදෙනෙකු ලියාපදිංචි කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය. ඩිප්ලෝමාධාරීන් වෙත සහතිකපත් ප‍්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
     
    අමාත්‍ය ගාමිණි විජිත් විජිතමුණි ද සොයිසා මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.
     
    අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, විජේදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, ටී.බී. ඒකානයක, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය ලක්ෂ්මන් වෙඬරුව, ශාන්ත බණ්ඩාර, ගල්ගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මොහාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ වාරිමාර්ග අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.බී.වී. ඉන්ද්‍රපාල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya