නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට නව ව්‍යාපාර ගණනාවක් හඳුන්වාදීමට අවස්ථාව ලැබෙනවා - අගමැති

    මැයි 25, 2017

    දේශීය ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කර දේශීය සමාගම්වල අපනයනය වැඩි කරන බවත්  එමෙන්ම විදේශ ආයෝජන ගෙන්වා ජපානය, චීනය, ඉන්දියාව සමග සාකච්ඡා කොට මේ වසරේ සිට ශ්‍රී ලංකාවට අලුත් ව්‍යාපාර ගණනාවක් හඳුන්වාදීමට අවස්ථාව ලැබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    කඩවත, රන්මුතුගල වත්ත, Flinth කොමර්ෂල් පාර්ක්හි ඊයේ (24) Flexiprint's නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    අගමැතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලැබීමේ වාසිය ප්‍රයෝජනයට ගෙන රැකියා උත්පාදනය කිරීමට නම් මෙවැනි කර්මාන්ත ශාලා රටට අවශ්‍යයි. ෆ්ලෙක්සිප්‍රින්ට් කර්මාන්ත ශාලාව මගින් අපනයනය සඳහා තේ බෑග් කෝටි 60 ක් පමණ වසරකට නිෂ්පාදනය කරනවා. මෙම කර්මාන්ත ශාලාව නිසා කෝටි 60 කට තේ බොන්නට අවස්ථාව ලැබෙනවා. මෙම තේ බෑග් යවන්නේ විදේශ වෙළෙඳපොළටයි. ඊට අමතරව විවිධ වර්ගයේ ලේබල්  නිෂ්පාදනය කරනවා. මේ සියලූම නිෂ්පාදනවලින් අපගේ විදේශ විනිමය වැඩි වෙනවා. රැකියා ප්‍රමාණය වැඩි වනවා. එමෙන්ම ආර්ථිකය ද ශක්තිමත් වනවා.
    ඉකුත් ජනාධිපතිවරණයට ආසන්න දිනක ෆ්ලෙක්සිප්‍රින්ට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සතිෂ් අබේවික්‍රම මහතා මට මුණගැසුණා. ජීඑස්පී ප්ලස් සහනය අපට ලැබෙනවා දැයි ඔහු මගෙන් විමසුවා. ජීඑස්පී ප්ලස් සහනය ලැබීමට නියමිත බව මා ඔහුට එහිදී දැනුම් දුන්නා. ඒ පිළිබඳව කිසිම බියක් ඇති කර නොගන්නා ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් නිර්මාණය කරන බවත් එහිදී මා සතිෂ් අබේවික්‍රම මහතාට දැනුම් දුන්නා. ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලැබෙනකම් නොසිට එතුමා මේ කර්මාන්ත ශාලාව ආරම්භ කළා. මෙම කම්හල විවෘත කෙරෙන්නේ ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලැබී දෙසතියක් ගතවූ පසුවයි. දැන් ඔබගේ නිෂ්පාදන යුරෝපයටත් අපනයනය කිරීමට අවස්ථාව ලැබෙනවා. එහිදී විශාල වෙළෙඳපොළක් ලැබෙනවා.

    ලෝකයේ ධනවත්ම වෙළෙඳපොළ තිබෙන්නේ යුරෝපයේයි. චීනය විශාලතම වෙළඳපොළ වුවත් ධනවත්කම අතින් විශාලතම වෙළෙඳපොළ වන්නේ යුරෝපයයි. යුරෝපා සංගමයේ වෙළෙඳපොළට ඇතුළු වී බදු සහන ලබාගත් පසු අපට තරගකාරී වෙළෙඳපොළක් ලැබෙනවා. අප ධෛර්ය ලබාදෙන්නේ එම තරගයට සාර්ථකව අවතීරණවීම සඳහායි.

    ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය අපට අහිමිවූ සමයේ අපට තිබුණේ ඇඟළුම් කර්මාන්තය පමණයි. නමුත් දැන් අප කර්මාන්ත රාශියක් අලූතින් ආරම්භ කර තිබෙනවා. 1977 වසරේ අප ඇඟළුම් කර්මාන්තය ආරම්භ කළා. මා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රබර් කර්මාන්තය ආරම්භ කළා. අපට ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය අහිමිවුවත් බංගලාදේශය එම සහනය ලබාගත්තා. ඔවුන්ට අද විදේශ ණය බරක් නැහැ. නමුත් අපට එම ප්‍රශ්නයට මුහුණදීමට සිදුවී තිබෙනවා. ණය ගෙවීමට ශක්තියක් නොමැතිව අප ණය ගත්තා. දැන් අපට ඒ ප්‍රශ්නයට මුහුණදීමට සිදුවී තිබෙනවා.

    අපනයන ආදායම සහ සංචාරක ව්‍යාපාරය තුළින් ලැබෙන ආදායම විදේශ ණය ගෙවීම සඳහා වැඩපිළිවෙළක් අප විසින් ආරම්භ කර තිබෙනවා. ඊළඟ වසර කිහිපයේදී මෙම ආදායම වැඩි කර ගැනීම අපේ අරමුණයි. අපනයන ආදායම වැඩිවූ විට රැකියා වැඩි වනවා. ආදායම වැඩි වනවා.
    එම අභියෝගයට මුහුණදීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කොට ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට අප සියලු දෙනා එකඟ වුණා. පක්‍ෂ දෙක එකට වැඩ කරන්නේ ඇයි දැයි ඇතමුන් විමසනවා. රාජපක්‍ෂ රජය විසින් ලබාගත් විදේශ ණය ගෙවන්නට බැරි නම් රට විනාශවීමට දෙනවා ද? අපනයන ආර්ථිකයක් ඇති කර රැකියා බිහිකර ඉදිරියට යනවාද කියා තීරණය කළ යුතුයි.

    අප විසින් එම වගකීම භාරගෙන තිබෙනවා. ජීඑස්පී ප්ලස් තීරු බදු සහනයත් සමග යුරෝපා වෙළෙඳපොළට ඇතුළුවීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. නිෂ්පාදනය වැඩි කර ආදායම වැඩි කරන ලෙසත් තරඟකාරී වෙළෙඳපොළට පිවිසෙන ලෙසත් අපනයන කර්මාන්ත කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
    ඇඟළුම් කර්මාන්තය, රබර් ටයර් කර්මාන්තය, ධීවර කර්මාන්තය මෙන්ම අලුත් කර්මාන්තවලටත් අපේ අවධානය යොමු විය යුතුයි. අලුත් නිෂ්පාදන පිළිබඳවත්, කර්මාන්තකරුවන් සිතා බැලිය යුතුයි. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයකට ගමන් කරමින් සිටින බව අපනයන නිෂ්පාදකයන්ට පමණක් නොව දේශීය නිෂ්පාදකයන් සියලූ දෙනාටම අවධාරණය කරන්න කැමැතියි. අපනයන කර්මාන්තය උදෙසා පිවිසීමට දේශීය වෙළෙඳපොළේ සිටින අය ද ශක්තිමත් කිරීම අපේ අරමුණයි.

    ලාභය උදෙසා පමණක් භාණ්ඩ මෙරටට ගෙනැවිත් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ විකිණීම තහනම් කරන නීති සම්පාදනය කරනවා. අපනයන වෙළෙඳපොළට ගමන් කරනවා නම් නව යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් කෝටියක් වියදම් කරන අයටත් බදු සහන ලබාදෙනවා. ඊළඟ වසර 5 ඇතුළත ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව අපනයන ආර්ථිකයක් ඇති රටක් බවට පත් කිරීම අපේ අරමුණයි.

    ලෝකයේ විශාලතම වෙළෙඳපොළ ඇති රට චීනයයි. ඔවුන් එරට කර්මාන්ත දේශීය වෙළෙඳපොළට සීමා කළේ නැහැ. ඔවුන් අපනයන කර්මාන්තය තුලින් ලෝක වෙළෙඳපොළ අල්ලා ගත්තා. ජපානය, කොරියාව, සිංගප්පූරුව ආදී රටවල් ද එම පිළිවෙත අනුගමනය කළා. අපත් ඒ ක්‍රමය අනුගමනය කළ යුතුයි. ලෝක වෙළෙඳපොළ අල්ලාගත් පසුව හොඳ වේතන සහ හොඳ රැකියා ලබාදීමට ශක්තිය ලැබෙනවා. ඒ වැඩකටයුත්ත ඉටුකර ගැනීම සඳහා අප අපනයන කර්මාන්තය දියුණු කිරීමට ක්‍රියා කරනවා.

    අපනයන ආර්ථිකයකට සහ සංචාරක ආර්ථිකයකට ගමන් කරන්නැයි අප ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ අරමුණ එයයි. ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය යුරෝපා සංගමය වෙතින් ලැබුණේ යහපාලන ආණ්ඩුව පිහිටුවීම නිසයි. අප විසින්ම වෙහෙසී එම සහනය ලබාගත්තා. එසේ නැතිව කිසිවෙකුත් අපට බන්දේසියක තබා ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය දුන්නේ නැහැ. ශ්‍රී ලංකාව යහපාලනයට ගමන් කළේ නැත්නම් එම සහනය ලැබෙන්නේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යහපාලනය ඇති කර ඒ වාසිය ලබාගැනීමට හැකියාව ලැබුණා. අප තවත් ඉදිරියට ගමන් කළ යුතුයි. අපගේ ව්‍යාපාර සියල්ලම ආරක්‍ෂා කරගෙන ඉදිරි ගමනක් යෑම අරමුණයි.

    පරිවර්තනයක් සඳහා අප වසර තුන, හතරක් යන තුරු සහන ලබාදෙන්නම්. ඊළඟ වසර දෙකේදී අප ඉලක්කය වෙත ළඟා විය යුතුයි. ඊළඟ වසර දෙකේදී දියුණුවීම සඳහා සහන ලබාදී තිබෙනවා. මෙරට තරුණ තරුණියන්ට රැකියා දෙන වගකීම අප පෞද්ගලික ආයෝජකයන්ටත් භාරදී තිබෙනවා.
    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ සමයේදී අප වෙළෙඳ කලාප ආරම්භ කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ සමයේ ඇඟළුම් කම්හල් ඇරඹුවා. දැන් අප කර්මාන්ත ශාලා දහස් ගණනක් ආරම්භ කළ යුතුව තිබෙනවා. දේශීය කර්මාන්ත ශාලාවලට අමතරව, විදේශීය ආයෝජකයන්ටත් මෙරට ආයෝජන අවස්ථා සඳහා ආරාධනා කරනවා. ඇතැමුන්ට මෙහි කර්මාන්ත ශාලා තිබෙනවා. ඔවුන්ට වාසිදායක නම් ශ්‍රී ලංකාවට පැමිණ බදු සහන ලබාගැනීමට හැකියාව තිබෙනවා.

    දේශීය ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කර දේශීය සමාගම්වල අපනයනය වැඩි කරනවා. එමෙන්ම විදේශ ආයෝජන ගෙනැවිත් ජපානය, චීනය, ඉන්දියාව සමග සාකච්ඡා කොට මේ වසරේ සිට ශ්‍රී ලංකාවට අලූත් ව්‍යාපාර ගණනාවක් හඳුන්වාදීමට අවස්ථාව ලැබෙනවා. එහෙයින් අප සියලූදෙනා එකතුවී මේ ගමන යමු.

    සතිෂ් අබේවික්‍රම මහතාගේ පියාත් මමත් පාර්ලිමේන්තු ආවේ එකටයි. අබේවික්‍රම මහතා පාර්ලිමේන්තුවට නොගොස් මේ ව්‍යාපාරය ආරම්භ කළා. එය රටට වාසියක් වුණා. එතුමා විශාල ව්‍යාපාරයක් බිහිකර තිබෙනවා. මෙම ව්‍යාපාරය සාර්ථකවීම සඳහා සේවක පිරිසත් උපකාරීවී තිබෙනවා. පුහුණු සේවක පිරිසත් මෙහි සිටිනවා. සියලුදෙනාම එක්ව එක ගමනක් යනවා. දෙමටගොඩ එක් කුඩා මුද්‍රණ යන්ත්‍රයකින් ආරම්භ කළ ව්‍යාපරය අද විශාල ආයතනයක් බවට පත්වී තිබෙනවා. ඉදිරියේදී මේ කම්හල මීටත් වඩා ව්‍යාප්තවනු දැකීම අපගේ අරමුණයි. මේ අවස්ථාවේද මා ඊට සුබපැතුම් එක් කරනවා.
    අපේ ව්‍යාපාරකයන් සහ විදේශ ආයෝජකයන් එකට එක්වී මෙරට තරුණ තරුණියන්ට රැකියා හා ආදායම් මාර්ග වැඩිකිරීමට ක්‍රියා කරමු. එමෙන්ම රැකියා සඳහා පුහුණු කණ්ඩායම් අවශ්‍යයි. මුද්‍රණ කරුවන්ගේ සංගමය සැලසුමක් ඇතිව අප සමග එකට වැඩ කරනවා නම් අපත් ආධාර මුදල් ලබාදෙන්නම්. විවිධ අය විවිධ අංශවල පුහුණුව ලැබීමට කැමැතියි. කාර්මික විද්‍යාලවල මෙන්ම මේ ආයතනවලත් පුහුණුව ලබාදීමට හැකියාව තිබෙනවා. අපට සැලසුම දෙන්න අප උදව් කරන්නම්. අවසානයේ මෙම ආයතන තුලින් ද තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා ලැබෙනවා.

    අප දැන් අලූත් යුගයක් ආරම්භ කර තියෙනවා. එක් පැත්තකින් ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලැබුණා. අනෙක් පැත්තෙන් චීනය, ජපානය, ඉන්දියාව සමඟ සාකච්ඡා කොට විශාල ආයෝජන අවස්ථා ලැබී තිබෙනවා. හම්බන්තොට වරාය කටයුතු ආරම්භ කරනවා. කෙළවරපිටියේ එල්එන්ජී විදුලි බලාගාර දෙකක් ආරම්භ කරනවා. ත්‍රිකුණාමලය දියුණුවට පත් කරනවා. මේ ආරම්භය පමණයි. අප සියලුදෙනාම එක්ව ඉදිරියට යමු. රැකියා කොහේදැයි තරුණයන් අසන ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලබාදෙමු. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඉදිරියට යන යහපාලන රජයට පෞද්ගලික අංශයේද සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න. අප ඔබට ප්‍රතිඵල ලබා දෙන්නම්. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya