අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත වූ සිනමාවේදියාණන් වෙනුවෙන් අගමැති සොව පළ කරයි

    අප්‍රේල් 18, 2017

    දේශීය සිනමාව පොහොසත් කළ චිත්‍රපට නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය, මෙන්ම සම්මානනීය ඉන්දීය චිත්‍රපට අප රටට හඳුන්වාදීමට ද පුරෝගාමීව කටයුතු කරමින් චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස  ටී. අර්ජුන සිනමාවේදියාණන් හැඳින්විය හැකි බව ඒ මහතාගේ අභාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    "1979 වසරේ ප්‍රදර්ශනය වූ, 1980 වසරේ ජනාධිපති සම්මාන උළෙල සම්මාන අටකින් පිදුම් ලැබූ, ඉමහත් රසික ප්‍රසාදයක් දිනූ චිත්‍රපටයක් විය. “වසන්තයේ දවසක්” නම් වූ එකී චිත්‍රපටය ඇතුළු චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුන සිනමාවේදියාණන් අප අතරින් සමුගත් බව අසන්නට ලැබීම සංවේගදායකය.

     

    කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවකු වන ටී. අර්ජුන මහතා සිනමාව කෙරෙහි බැඳුණු සිතින්, ලන්ඩන් නුවර සිනමා පාසලින් ස්වකීය විෂය ක්ෂේත්‍රය සම්බන්ධව උපාධිය ලැබූ සිනමාවේදියෙකි. දේශීය සිනමාව පොහොසත් කළ චිත්‍රපට නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය, මෙන්ම සම්මානනීය ඉන්දීය චිත්‍රපට අප රටට හඳුන්වාදීමට ද පුරෝගාමීව කටයුතු කළේය. බෲනායි රජයේ ආරාධනයෙන් එරට සිනමා ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන්ද ඔහු සුවිශේෂ මෙහෙවරක් ඉටුකොට ඇත.


     
    ලේඛන කලාවටද සමත්කම් දැක්වූ අර්ජුන ඉංග්‍රීසි බසින් තීරු ලිපි රචනයෙහිලා කැපී පෙනුණු ලේඛකයෙකි. කලා ක්ෂේත්‍රය තුළ සහෝදර කලාකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ඔහු යුක්තිගරුක, මානව හිතවාදී, සොඳුරු මිනිසකු විය.

     

    1936 වසරේ ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ පුරාවිද්‍යා මූලාශ්‍රයක් වන වල්ලිපුරම් රන් සන්නස පූජ්‍ය  වල්පොල රාහුල ස්වාමින්වහන්සේ වෙත ලබා දුන්, එසේම උන්වහන්සේගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සුවිශේෂ අනුග්‍රහයක් දැක්වූ එවකට කොටහේන සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු වූ සරවනමුත්තු තංගරාජා මහතාගේ වැඩිමහල් පුත්‍රයා අර්ජුන ය. දක්ෂ නර්තන ශිල්පිනියක වූ රංජනා තංගරාජා මහත්මිය අර්ජුනගේ මව් වූවාය.


    සාහිත්‍ය කලාවට, සිනමාවට මෙන්ම මව්පිය ආදර්ශයෙන් සමීප වූ විද්වත්, සිල්වත් භික්ෂූන් වහන්සේලා ඇසුරේ බෞද්ධ දර්ශනයටද ඉතාමත් ළැදිව කටයුතු කළ අර්ජුන, වල්පොල රාහුල ආයතනය බිහිකිරීමටද පුරෝගාමීව කටයුතු කර ඇත. මිය යන තුරුම එහි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු ඉටුකළ සේවය ප්‍රශංසනීයය.

     

    ප්‍රවීණ සිනමාවේදී ටී. අර්ජුන මහතාගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමට,  ඥාති හිත මිත්‍රාදීන්ට මාගේ සාතිශය සංවේගය පළ කරමි. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya