ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද (23) පෙරවරුවේ එක්වෙමිනි.
විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසුවියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා විශාඛාවේ වසර සියයක විශිෂ්ට ගමන් මග ඇගයීමට ලක් කළේය.
නව තාක්ෂණය, වාණිජකරණය, තරගකාරිත්වය මෙන්ම විෂම සමාජ බලවේග හෙට දවසේ අපට අභියෝග රැසක් එල්ල කර ඇති අතර එම සියල්ල හමුවේ අපේකම සහ අපේ සංස්කෘතිය රැකගෙන ඉදිරියට යාමට අපේ දරුවන් වහා සූදානම් විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
1917 දී ජෙරමියස් ඩයස් මැතිණිය විසින් ආරම්භ කරන ලද කොළඹ විශාඛා විද්‍යාලය ශී‍්‍ර ලංකාවේ පැරණිතම බෞද්ධ බාලිකා පාසලකි.
විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් නිකුත් කරන ලද සමරු කාසිය මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සැමරුම වෙනුවෙන් සමරු කාසියක් එළිදැක්වීමේ උත්සවයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව 2017.01.23 වන දින පෙ.ව. 10.00 ට කොළඹ විශාඛා විද්‍යාලයේදී
විශඛාවේ සියවස සමරන අවස්ථාවේ භාග්‍යවන්ත වු විශාඛාවේ මේ දරුවන් සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.
විශාඛාව වසර සියයක් සමරන විට ඔබෙත් මගෙත් මතකය යා යුත්තේ මීට වසර සියයකට පෙර අපේ රටේ තිබූ ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික පසුබිම පිළිබඳවයි කියා මා විශ්වාස කරනවා. මීට වසර සියයකට පෙර අපේ රට කොතරම් වෙනස් වෙන්න ඇත්ද? මීට වසර සියයකට පෙර කොළඹ නගරය කෙසේ තියෙන්න ඇත්ද? මීට වසර සියයකට පෙර අපේ රටේ ගම් බිම් දනව් කුමන ආකාරයේ පසුබිමක තියෙන්නට ඇත්ද? මීට වසර සියයකට පෙර මේ රටේ ජීවත් වූ ජනතාවගේ ජන ජීවිතය කුමන ආකාරයේ පසුබිමක තිබෙන්නට ඇත්ද? ඔවුන් එය කෙසේ හසුරුවන්න ඇත්ද? ඒ පිළිබඳව අපි සිතන විට වසර සියයක විශාඛාවේ ගමන් මගේ ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය වගේම අපි රටක් විදියට මාතෘභූමියක් විදියට ජාතියක් විදියට ඉදිරියට ඇවිත් තිබෙනවා කියලා මා විශ්වාස කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා සඳහන් කළා වගේ දරුවන්ට අද තිබෙන්නේ හෙට දවස වෙනුවෙන් සූදානම් වීමයි. ඒත් දරුවනේ, ඊයේ දවසට වඩා හෙට දවස අභියෝගාත්මකයි. නව තාක්ෂණය, වාණිජ්‍යකරණය, තරගකාරිත්වය, විවිධ විෂම වූ සමාජ බලවේග, සංස්කෘතික සෝදාපාලූවීම් විදේශීය ආභාෂයන් මේ සියල්ලත් සමග හෙට දවස වඩා අභියෝගාත්මක බව ඔබ දන්නවා. එහෙත් අපි සෑම කෙනෙකුගේම වගකීම ජාතියක අනාගතය ශක්තිමත්ව ගොඩනැගීම සඳහා රටේ මුළුමහත් ජනතාව උගතුන් බවට පත් කිරීමයි. බුද්ධිමතුන් බවට පත් කිරීමයි. උගතුන් සහ බුද්ධිමතුන් වගේම පඬිවරුන්, බහුශ‍්‍රැතයින් සමාජයට බිහි කිරීමේදී ඔබටත් මටත් ඒ පිළිබඳව පුළුල් වගකීම් සහ යුතුකම් රාශියක් තිබෙනවා. විශාඛාවේ විදුහල්පතිතුමිය ඒවගේම ගුරු මෑණිවරුන් සහ පියවරුන් මේ ආදරණීය දරුවන්ගේ අනාගතය සඳහා සිය වගකීම සහ යුතුකම ඉතාම විශිෂ්ට ලෙස ඉටුකරන බව එහිදී මා විශ්වාස කරනවා.
ඇමතිතුමනි, අද පාසැල මා දකින්නේ ආරක්ෂිත තැනක් විදියට. අපි පාසැල් යන කාලේ දෙමව්පියෝ දරුවෝ පාසැලට දීලා දෙමව්පියෝ කියනවා පාසැලේ ගුරුමහත්වරුන්ට, මහත්මීන්ට දරුවා භාරදුන්නා දරුවා බලා ගන්න කියලා. නමුත් අද මා දකින්නේ ඊට වඩා වෙනස් දෙයක්. අද ආදරණීය ගුරුමෑණිවරුන්ට සහ පියවරුන්ට සිදුවී තිබෙනවා පාසැලේ පැය පහ අපි දරුවා බලා ගත්තා රැක ගත්තා අම්මාට තාත්තට කියන්න සිද්ධ වෙලා තිබෙනවා ඉදිරි පැය ගණන ඔබ දරුවා රැක බලා ගන්න කියලා. සමාජයේ තිබෙන විවිධ අභියෝගාත්මක තත්ත්වයන් දරුවන්ගේ සුරක්ෂිතභාවය, දරුවන්ගේ ආරක්ෂාව, දරුවා ගොඩනැගීම පිළිබඳව පසුබිම දරුවාට යහපත් මානසිකත්වයක් ඇති කිරීම, දරුවාට ආත්මශක්තියෙන් ආත්මඅභිමානයෙන් අධිෂ්ඨානශීලී ලෙස සිය ජීවිතය ගොඩනගා ගැනීමට ඇති වෙන්නා වූ ධෛර්ය සම්පන්නභාවය. මෙය අද සමාජයේ තිබෙන විවිධ විෂමතාවයන් සමග එතරම් පහසු දෙයක් නොවන බවයි මා බොහෝ විට දකින්නේ. මම ගිය අවුරුද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ අනිකුත් අමාත්‍යාංශ සමග ,දරුවන් රකිමු, කියන විශේෂ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කළා. අවුරුදු දාහතර පහළොවේ පුංචි දරුවෝ පස් දෙනෙක් ගෙදරට යන ගමන හරි හැටි කියන්නේ නැතිව පන්ති යනවයි කියලා ගම්පල ගිහිල්ලා මහවැලි ගඟේ නාන්න ගිහින් දරුවෝ පස් දෙනාගෙන් දරුවෝ තිදෙනක්ම මිය ගිය පුවත මාධ්‍යවලින් ඔබ දකින්නට ඇති. එය කොතරම් නම් ඛේදවාචකයක්ද? එය දරුවන්ගේ වගකීම පිළිබඳව ප‍්‍රශ්නයක් නොවෙයිද? මේ තිබෙන තත්වයත් පිළිබඳ වගකීමෙන් අවධානය යොමුකරමින් අපි කළයුතු කාර්යයන් ඉටුකළ යුතු වෙනවා. විශාකාවේ සියවසක ගමන්මග අභියෝගාත්මකයි. දුෂ්කරයි. විශිෂ්ටයි. ඒ ගමන්මග ඔබ අප දන්නා පරිදි ලෝකයේ සුන්දරත්වය හා විශිෂ්ටත්වය හා දුෂ්කරත්වය හා බැදි ඇති බව ඔබ අපි සෑම කෙනෙක්ම දන්නවා. අද මේ උත්සවයට සහභාගී වීම පිළිබඳව සතුටු වෙනවා. සමරු මුද්දරය නිකුත් කිරීම පිළිබඳ විදුහල්පතිනිය පසුගිය දිනවල දුරකථනයෙන් කතාකරලා මුද්දරයක් නිකුත් කරන්න අවශ්‍යයි ඒ සඳහා කටයුතු සලසා දෙන්න කියලා ඉල්ලා සිටියා. මම තැපැල්පතිතුමාට කතා කළා. මේ මුද්දරය නිකුත්කිරීම සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කළා. එවිට ඔහු කිව්වා ගොඩක් පාසල් සියවස සමරනවා, ඒ නිසා මුද්දර නිකුත් කරලා ඉවරයක් නැහැ කියලා. ඒ නිසා තීරණයක් ගත්තා සියවස මුද්දර පාසල්වලට නිකුත් නොකරන්න. ඒ නිසා දැන් මුකුත් කරන්න බැහැ. ඒ නිසා මගේ හිතට එකවර ආවා ප‍්‍රශ්නයක්. අධ්‍යාපන අමාත්‍යතුමාව දැනුවත් කළා ද කියලා. පාසල් වලට චක‍්‍රලේඛ යැවුවද කියලා. තැපැල්පතිතුමා කිවුවා එහෙම එකක් යැව්වේ නැහැ කියලා. මම කිවුවා එහෙනම් වරද අපේ අතේ තියෙන්නේ කියලා. ඒ නිසා මේ සඳහා අවශ්‍ය කටයුතු සලසන්න කියලා. පාසල් මුද්දර නිකුත් කරන්නේ නැත්නම් පාසල්වලට දැනුම් දෙන්න චක‍්‍රලේඛයක් නිකුත් කරන්න කිවුවා. ඒ නිසා මම හිතන්නේ පාසල් සමරු මුද්දර නිකුත් කරන අවසන් පාසල විශාකාව වෙන්න ඇති කියලා.
ඔබේ මේ වැදගත් අවස්ථාවට සහභාගීවෙන්න ලැබීම ගැන මා නැවතත් මාගේ සතුට ප‍්‍රකාශ කරනවා. හෙට දවස අභියෝගාත්මකයි. ඒ අභියෝග බාරගෙන ජයග‍්‍රහණය කිරීමට ඔබ සැමවිටම ශක්තිමත් වියයුතුයි. සැමවිටම ඒ පිළිබඳ අධිෂ්ඨානශීලි විය යුතුයි. ඒ නිසා මේ ආදරණීය දරුවන්ටත්, විශාකාවටත් අනාගතය සුබදායී වන්න ප‍්‍රාර්ථනා කරනවා. මේ පාසල හදන්න ජෙරොමියස් දියෙස් මැතිණිය සිදුකළ පරිත්‍යාගය අගය කළ යුතුයි. ඒ පරිත්‍යාගය නොමැති නම් මේ අවස්ථාව සමරන්න අපහසුයි. රජයක් ලෙස මේ රටේ සියලු දරුවන් වෙත කළ යුතු සෑම දෙයක්ම සිදුකරමින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් මේ රට උගතුන්ගෙන් පරිපූර්ණ රාජ්‍යයක් බවට පත්කරමින් රජය විසින් ගන්නා වූ වෙහෙස මහන්සිය පිළිබඳ මා ඉතා හොඳින් දන්නා බැවින් ඒ සියලු දෙනාටත් සුබපතමින් ආශිර්වාද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.