දේශපාලන පක්ෂ පමණක් නොව කතෝලික සභාවේ මැල්කම් රංජිත් කාදිනල්තුමන්, සෙසු හින්දු ඉස්ලාමීය නායකයන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තිය එසේම පැවතිය යුතු බවටත්, නව ව්‍යවස්ථාවටත් ඒ වගන්තිය ඒ අයුරින්ම ඇතුළත් කළ යුතු බවටත් ප්‍රකාශ කර තිබෙන බවත් මෙය ප්‍රශ්නයක් ඇතිකර ගත යුතු කරුණක් නොවන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
කොළොන්නාව, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ මහා විහාරස්ථානයේ ඉදිකරන ලද අභිනව බෝධි මළුව, බෝධි ප්‍රාකාරය, චෛත්‍ය, ධර්ම ශාලාව හා පුස්තකාල මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පසුගියදා සඳහන් කළේය.
බුදු සසුනට කිසිදු බලපෑමක් ඇති නොවන ලෙස ජනාධිපතිතුමාත් තමාත් කටුයුතු කරන බව අගමැතිවරයා පෙන්වා දුන් අතර බුද්ධ ශාසනය තුළ ඇති විය යුතු ප්‍රතිසංස්කරණ ඇති කිරීමට සංඝයා වහන්සේ සමඟ සාකච්ඡා කර තිබෙන බව ද පෙන්වා දුන්නේය. පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංවිධානය පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවත්
ලබන වසරේදී ජාත්‍යන්තර වෙසක් දිනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවත් ඒ සඳහා බෞද්ධ රාජ්‍යයන්වල නායකයින්ටත් ආරාධනා කරන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටත් ජාත්‍යන්තර වෙසක් උළෙලට සහභාගි වන ලෙස ආරධනා කළ බවත් අගැමැතිවරයා ප්‍රකාශ කළේය.
“ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා ලෙස හඳුන්වන්නේ ගෞතම බුදුන් වහන්සේයි. බුදුන් වහන්සේ අපට මෙන්ම ඉන්දියාවටත් පොදුයි. ඉන්දියාව ඔවුන්ගේ අනන්‍යතාවය රැකගන්න කැමතියි. අප ශ්‍රී ලංකාවේ දේ රැකගන්න කැමතියි. නේපාලයේ ලුම්බිනිය වැනි සිද්ධස්ථාන රැකගන්න එරට කැමතියි.බුදු දහම අද දකුණු ආසියාවම පිළිගෙන තිබෙනවා. පකිස්ථානය,බංගලාදේශය, භූතානය, ආදි සෑම රටක්ම බුදු දහම පිළිගෙන තිබෙනවා. අප අපේ පූජනීය ස්ථාන දියුණු කරන ආකාරයටම ඉන්දියාවේ නාලන්දා මහ පිරිවෙන ආරක්ෂා කරන්නත්, දියුණු කරන්නත් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා අප ථෙරවාදී බුදු දහමේ දියුණුව සදහා මූලික අවධානය යොමු කළ යුතුයි.ලබන වසරේ ජාත්‍යන්තර වෙසක් උත්සවය පවත්වන අවස්ථාවේදී ථේරවාදී, මහායාන, වජ්රයාන සියලුම අංශවලට සහභාගි වන්න ඉඩ ප්‍රස්ථාව දෙනවා."
2018 වසරේදී ශ්‍රී ලංකාවේ ථේරවාද බෞද්ධ සමුළුවක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ථේරවාදී බෞද්ධ රටවල් ඊට සහභාගි ගැනීමට පියවර ගන්නා බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.