මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ද්‍රරතන නායක ස්වාමීන්ද්‍රයාණන්වහන්සේ අපවත් වීම පිළිබඳව අගමැති සොව පළ කරයි

    ඔක්තෝබර් 21, 2015

    අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ ප්‍රධාන සංඝ නායක බෝයගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය එලවිටිගම ඉන්ද්‍රරතන නායක ස්වාමීන්ද්‍රයාණන්වහන්සේ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර ඇත.

     

    අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවිඩය -

    “සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ ප්‍රධාන සංඝ නායක බෝයගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය එලවිටිගම ඉන්ද්‍රරතන නායක ස්වාමීන්ද්‍රයාණන්වහන්සේ අපවත් වූ පුවත සැලවීමෙන් මම මහත් සංවේගයට පත් වීමි.

     

    "බෝයගොඩ නාහිමියන්" ලෙස මහ සඟ රුවන අතරත්, බොදු ජනතාව අතරත්, ජනාදරයට පාත්‍ර වූ අපගේ නායක ස්වාමීන් වහන්සේ, ප්‍රාචීන භාෂා පාණ්ඩිත්‍යයෙන් හෙබි තෙර නමකි. වෙසෙසින් ම ජ්‍යෝතිර්වේදය පිළිබඳ පැතිරුණු ශාස්ත්‍රීය දැනුමකින් හෙබි වූ නායක ස්වාමීන්ද්‍රයාණන්වහන්සේ ගුරුවරයෙකු, අධ්‍යාපනඥයෙකු සේ ආරාමික අධ්‍යාපනය විෂයෙහි කැපීපෙනෙන දායකත්වයක් සැපයූ ස්වාමීන්වහන්සේ නමකි. එසේ ම රට දැය අභිමුව පැමිණි විවිධ විපත් සහ අභියෝග හමුවේ නිර්භය භික්‍ෂු නායකත්වයක් ලබා දුන් අති ගෞරවණීය ඉන්ද්‍රරතන නාහිමිපාණන්වහන්සේ, ගෙවී ගිය සමයේ රට ගොදුරු ව තිබූ බිහිසුණු අනතුරින් සමාජය මුදවා ගැනීමේ මුල් පෙළ භික්‍ෂු නායකත්වයක් ලබා දුන් හිමි නමකි. අති ගෞරවණීය නායක ස්වාමීන්ද්‍රයාණන්වහන්සේ මාගේ දේශපාලන දිවි ගමනට අතිශය ලෙන්ගතු ව නිවැරදි මඟ පෙන් වූ, එමෙන් ම යහ පාලනය උදා කර ගැනීම සඳහා නිර්භය ව ම කැප වූ බව මේ සංවේගජනක මොහොතේ මහත් ගෞරවපූර්වකව සිහිපත් කරමි.

     

    මහා පෞරුෂයකින් යුත්, සන්සුන් හා පිළිවෙතින් සපිරි, ගුණ නුවණින් හෙබි නායක ස්වාමීන්ද්‍රයාණන්වහන්සේ, දුර්ලභ සහ අනුහස් සහිත හිමිනමක ලෙස ගිහි පැවිදි සමාජයේ සම්භාවනාවට පාත්‍ර ව වැඩි සිටි හිමි නමකි. බෝයගොඩ නාහිමිපාණන්වහන්සේ ලෝ සසුන් මෙහෙය පිණිස ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරක් සසුනට දායාද කර දුන්, පෙර මහ යති පරපුරේ සම්ප්‍රදාය ආරක්‍ෂා කොට නූතන සංඝයාවහන්සේලාට පරමාදර්ශයක් සැපයූ, ගුරු දේව හිමි නමකි. ස්වකීය පැවිදි දිවි සිරිතේ සැත්තෑ සත් වන වියේ දී උන්වහන්සේ අපවත් වීම, ජාතියටත් සසුනටත් සිදු වූ මහත් පාඩුවකි. අති ගෞරවණීය ස්වාමීන්වහන්සේ අපවත් වීම පිළිබඳ ව උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයාණන්වහන්සේලාට සහ දායක සභාවට ද,  ඥාති මිත්‍රාදීන්ට ද මාගේ සාතිශය සංවේගය පළ කර සිටිමි.

     

    අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය එලවිටිගම ඉන්ද්‍රරතන නායක ස්වාමීන්ද්‍රයාණන්වහන්සේට උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. “

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya