මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අතින් ගුවන් හමුදා නව පිහිනුම් තටාකය විවෘත වේ

    සැප්තැම්බර් 09, 2015
    රත්මලාන ගුවන් හමුදා කඳවුරෙහි අලුතෙන් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත පිහිනුම් තටාකය ඊයේ (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත විය.
     
    මෙම පිහිනුම් තටාකාංගනයේ ඉදිකිරීම් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ  2009 වසරේ අප්‍රේල් මස ආරම්භ කළ අතර මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යංශය සහ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් ලබා දී ඇත.
     
    දිගින් මීටර් 50ක් හා පළලින් මීටර් 25ක් වන මෙම පිහිනුම් තටාකය පිහිනුම් තීරු 10කින් සමන්විත වන අතර මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මිලියන 162 කට අධික මුදලක් වැය වී ඇත. එමෙන්ම එකවර ප්‍රේක්ෂකයන් 1000කට රැදී සිටිය හැකි ප්‍රේක්ෂකාගාර පහසුකම් ද තටාකාංගනය පිහිටි මහලේම පිහිටා තිබේ.
     
    මෙම අවස්ථාවේ දී ගුවන් හමුදා නිලධාරීන් විසින් සහ පාසල් සිසුන් විසින් පිහිනුම් තටාකාංගණයේ පිහිනුම් තරග සහ සංදර්ශන කිහිපයක් ද ජනපති ඉදිරියේ පවත්වනු ලැබීය.
     
    පිහිනුම් තටාකාංගණය ඉදිකිරීම සඳහා සහය දුන් නිලධාරීන් සමග ද ජනාධිපතිතුමා සුහද කතාබහක ද නිරත විය. මෙම අවස්ථාවට උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, හිටපු ආරක්ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක, ආරක්ෂක අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. හෙට්ටිආරච්චි, හිටපු ජල ක්‍රීඩා සභාපති එම්. එච්. කරන්නාගොඩ යන මහත්වරු සහභාගී වී සිටියහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya