මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලනයක් සමග නව දේශපාලන ක‍්‍රමවේදයක් සඳහා සම්මුතිවාදීව ඉදිරියට යා යුතුයි – ජනපති

    සැප්තැම්බර් 07, 2015
    ජාතික ආණ්ඩු සංකල්පය මත ජනපති - අගමැති එකතුව සේම අමාත්‍ය මණ්ඩලයේ එකතුවත්, දේශපාලන සංස්කෘතිය සැබෑ ලෙසම සාර්ථක කිරීමට පිටිවහලක් වන බව ජනපති පවසයි.
     
    ශ‍්‍රී.ල.නි.ප යත් එ.ජා.ප යත් මේ එක් වී සිටින්නේ ගෙවී ගිය දශක පහක හයක කාලය තුළ පක්ෂ දෙක අතර තිබූ බෙදීම නිසා සිදු වූ අපකීර්තිමත් ඉතිහාසය අවසන් කරමින් දේශපාලනයේ නොගැලපෙන නුසුදුසු දේ ඉවත් කරමින් ගැලපෙන සුදුසු දේ තෝරාගෙන නව දේශපාලන සංස්කෘතියක් යටතේ මේ රට ගොඩනැගීමට බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පැවසූවේ ඊයේ (06) සිරිකොත මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 69 වෙනි සංවත්සරයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
     
    පසුගිය ජනාධිපතිවරණයේ දී රටට අවශ්‍ය වෙනස සඳහා ජනාධිපතිවරයා ලෙස තමාව පත්කර ගැනීමට ප‍්‍රමුඛත්වය ගත් 
    එ.ජා.ප නායකයා ප‍්‍රමුඛ පාක්ෂිකයන්ට තම ස්තූතිය පුද කරන බව පැවසූ ජනාධිපතිතුමා, එය සැබෑ ලෙසටම තම හදවතේ සටහන් වී තිබෙන කිසිදා නොමියෙන සටහනක් බවද කියා සිටියේය.
     
    රටේ ජනතාව රට, නව රජයට බාරදී ඇත්තේ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට බැව් සිහිපත් කළ ජනාධිපතිතුමා, 
    ඒවා කොතෙක් දුරට දේශපාලඥයන් ඉෂ්ට කරන්නේ දැයි ජනතාව දැඩි අවධානයකින් බලාසිටින බවද කීය.
     
    සතුරන් දුර්වලයි කියා නොසිතා සතුරන් පිළිබඳ අඩු තක්සේරුවක නොසිට කටයුතු කිරීම දේශපාලනයේ අත්‍යවශ්‍ය වූ න්‍යායයක් හා ප‍්‍රතිපත්තියක් බව පැහැදිලිව තේරුම් ගතයුතු බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    ඊලාම්වාදීන් සයුරෙන් එහා සිට අප රට බෙදන්නට මතවාදවලින් උත්සහ දරද්දී පසුගිය කාලයේ රට පාලනය කළ ඇතැමුන් රට තුළ හිදිමින් අප යන ගමන ආපසු හරවන්නට දරන්නාවූ අසාර්ථක උත්සාහයන් පිළිබඳව ද කල්පනාකාරී විය යුතු බවද ජනාධිපතිතුමා සිහිපත් කළේය.
     
    රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනයක් ගොඩනගා ගෙන ඉදිරියට යැමේදී අප යන ගමන ආපස්සට හැරවීමට දරන්නා වූ උත්සාහයන් සම්පූර්ණයෙන් ව්‍යර්ථ කිරීමට අප කල්පනාකාරී විය යුතු බවද පවසා සිටි ජනාධිපතිතුමා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එන අභියෝගවලට සාර්ථකව මුහුණ දී අද ජීවත්වන ජනයාටත් හෙට දවසේ උපදින දරුවන්ටත් යහපත් රටක් උදාකරදීමට කැපවිය යුතු බවද කීය.
     
    රටේ සියලු ජන කොටස් අතරේ සාධාරණත්වයකින් කටයුතු කර සියලු ජාතීන් හා සියලු ආගමික ජන කොටස් අතර සහෝදරත්වය, විශ්වාසය, අවබෝධය ගොඩනගාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    ප‍්‍රධාන වශයෙන්ම රටේ දුගී බව තුරන් කිරීම, ඇති නැති පරතරය අවම කිරීම, විරැකියාව අවම කිරීම මෙන්ම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, ශක්තිමත් කෘෂි ආර්ථිකයක්, ශක්තිමත් දේශීය කර්මාන්ත පදනමක්, ඒ සියල්ල සමග ස්වයංපෝෂිත රටක බිහිකිරීම යනාදිය තුළින් ජනතාවට සතුටෙන් සාමයෙන් ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    මේ අවස්ථාවට පූජ්‍ය අතුරලියේ රතන හිමි, එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද අමාත්‍ය පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් සහ එ.ජා.ප ක‍්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB/PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya