මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා - අගමැති

    ජූලි 14, 2015

    අග්‍රමාත්‍යවරයා විසින් අපවත් වී වදාළ පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් නිකුත් කළ පණිවුඩය මෙසේය.

     

    “දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, අමරපුර ශ්‍රීධර්ම රක්ෂිත මහා නිකායේ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සුවිශේෂ ශාසනික, සමාජයීය මෙහෙවරක් ඉටු කළ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමකි.

     

    කොත්මලේ මල්දෙණිය ප්‍රදේශයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට තරුණ වියේදීම පැමිණ, එවකට දිඹුලාගල වැඩවාසය කරමින් විශාල ශාසනික මෙහෙවරක් ඉටු කළ කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් යටතේ පැවිදි බිමට ඇතුළත් වූ උන්වහන්සේ කිතලගම ශ්‍රී සීලාලංකාර නායක ස්වාමින් වහන්සේගේ සුවිශේෂී ම ශිෂ්‍යයා වූහ.  "දිඹුලාගල දෙවැනි හාමුදුරුවෝ", "කැටයම් හාමුදුරුවෝ" ලෙසින් ගිහි පැවිදි කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගෙන් පසුව ආරණ්‍ය සේනාසනාධිපති තනතුරට පත් වූහ.

     

    නායක ස්වාමින් වහන්සේගේ මඟපෙන්වීම මත දිඹුලාගල ආරණ්‍ය සේනාසනය යටතේ ශිෂ්‍ය හිමිවරුන් 1200 ක් පමණ බිහි කිරීම ද උන්වහන්සේ ඉටුකළ සුවිශේෂ ශාසනික සමාජ මෙහෙවරකි.

     

    දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දියුණුව වෙනුවෙන් කැප වී කටයුතු කළ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේ, එහි නව නිමැවුම් වන අහස් මාළිගාව, ධාතු මන්දිරය, දැවමය ප්‍රතිමා ගෘහය ඇතුළු විහාර නිර්මාණ රැසක් කළ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පී තෙර නමකි. ප්‍රතිභාපූර්ණ පැවිදි කලාකරුවෙකි. ධර්මය සහ කලාව එක්තැන් කරමින් සුවිශේෂ ශාසනික සමාජ මෙහෙවරක් ඉටු කළ යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි.

     

    සමාජ, දේශපාලන වෙනස්වීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වූ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේ, රාජ්‍ය නායකයන් රැසකටම ආශීර්වාද කරමින්, අවවාද අනුශාසනා ලබා දුන්හ.

     

    බුදු සසුනත්, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයත් බැබළවූ, පරමාදර්ශී, සුපේශල ශික්ෂාකාමී උතුම් සඟමිණක් වූ අපවත් වී වදාළ පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනය කරමි. “

     

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya