මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් මිනිසුන් සමාජයට දායාද කිරීමට කලාවට සහ සාහිත්‍යයට සුවිශාල වගකීමක් ඉටුකළ හැකියි - ජනපති

    ජූලි 10, 2015
    යහපත් මිනිසුන් බිහිකරමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ආගමික දර්ශනයෙන් ලැබෙන පිටිවහල සේම සාහිත්‍ය, කලාව හා මාධ්‍ය වැනි ක්ෂේත‍්‍ර තුළින් සංසුන්, උපේක්ෂා සහගත මිනිසුන් ලොවට දායාද වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ (09) පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති 20 වන සුමති ටෙලි සම්මාන උළෙල අමතමිනි.
     
    ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ධනවත් ශක්තිමත් ආර්ථිකයන් තිබෙන බොහෝ ආයතන තමන්ගේ ජයග‍්‍රහණය පමණක් සිතන යුගයක සුමති සමූහ ව්‍යාපාරය කලා හා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු කරන විශිෂ්ටයන්ට තරගකාරීත්වයට ඉඩ ලබා දෙමින් විශිෂ්ටයන් අතර විශිෂ්ටයන් බිහිකිරීමට දරන උත්සාහය ඉතාම ප‍්‍රසංසනීය බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    කිසියම් කාර්යයක් තුළ තිබෙන තරගකාරීත්වය, වඩා යහපත් දේ නිර්මාණය කරන බව පැවසූ ජනාධිපතිතුමා එමඟින් වඩා උසස් හා ගුණාත්මක භාවයකින් යුතු දේ සමාජයට දායාද වන බව ද පෙන්වා දුන්නේය.
     
    මාධ්‍ය හා කලා ක්ෂේත‍්‍රය තුළ වඩා උසස් නිර්මාණ බිහිකිරීම සඳහා සුමති සමූහ ව්‍යාපාරය වසර 19ක් පුරා ගත්තා වූ වෙහෙස අගය කළ ජනාධිපතිතුමා ඒ සඳහා සුමතිපාල පවුලේ සාමාජිකයන් වෙත තම ස්තූතිය ද පළ කළේය.
     
    තම ජීවිත කාලය පුරාම නියැළුන කලා ක්ෂේත‍්‍රයට මාහැගි දායකත්වයක් සැපයූ ප‍්‍රවීණයන් උදෙසා සාම්ප‍්‍රදායික වශයෙන් පිරිනැමෙන යූ.ඩබ්ලිව්. සුමතිපාල සම්මානය, ප‍්‍රථමයෙන් ප‍්‍රවීණ ගායිකා ඉන්ද්‍රානී විජේබණ්ඩාර මහත්මියටත් දෙවන අනුස්මරණ සම්මානය ප‍්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාර මහතාටත් ජනාධිපතිතුමා අතින් පිරිනැමිනි.
     
    වසරේ හොඳම ටෙලිනාට්‍යය නළුවා, නිළිය, හොඳම ටෙලිනාට්‍යය සහය නළුවා, සහය නිළිය, හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය සහ හොඳම ප‍්‍රාසාංගික ටෙලිනාට්‍ය විකාශනය කළ නාලිකාව වෙනුවෙන් පිදෙන සම්මාන ද ජනාධිපතිතුමා අතින් පිරිනැමිනි.
     
    මෙම අවස්ථාවට ජයන්ති සිරිසේන, චතුරිකා සිරිසේන, මිලිනා සුමතිපාල, තිලංග සුමතිපාල, ජගත් සුමතිපාල, සරත් ඒකනායක, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රාජිත සේනාරත්න යන මහත්ම මහත්මිහු, කලාකරුවෝ, සුමතිපාල පවුලේ ඥාතිහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
     
     NDH/priu

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya