මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ කිසිදු නිලධාරීයෙකු දේශපාලන බලපෑමකට යටත් කිරීමට ඉඩ තබන්නේ නැහැ - ජනපති

    මාර්තු 20, 2015
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මෙරට රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය පිළිබඳ ඉහළ ම සහතිකය ලබන මැතිවරණය බවට පත්කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. 
     
    තමා ජනාධිපති ධූරයේ සිටින තාක් රජයේ කිසිදු නිලධාරීයෙකු දේශපාලන බලපෑමකට යටත් කිරීමට ඉඩ නොතබන බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා ස්වාධීන හා නිදහස් පරිපාලන සේවාවක් තුළින් රාජ්‍ය සේවයේ ගෞරවයත් අභිමානයත් රැකදීමට කැපවන බව ද ප‍්‍රකාශ කළේය. 
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (19) බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි. 
     
    රාජ්‍ය සේවයේ ගෞරවය පහතටම ඇද දැමූ පසුගිය ජනාධිපතිවරණය මේ රටේ රාජ්‍ය සේවයේ ඛේදවාචකයක් බව ද ජනාධිපතිතුමා පැවසීය. රජයක ප‍්‍රතිපත්ති, සැලසුම් ඉලක්කගත වැඩසටහන් ඉදිරියට ගෙන යාමට පරිපාලන සේවයේ නායකත්වය සහ ආදර්ශයන් ම වැදගත් සාධකයක් බව ද පැවසූ ජනාධිපතිතුමා කුමන මතවාද දැරුව ද ජනතාවගේ අවශ්‍යතාව මූලික කොට ගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව ද අවධාරණය කළේය. 
     
    යම් සේවාවක් ලබා ගැනීමට තමන් ළඟට පැමිණෙන ජනතාවගේ ඒ අවශ්‍යතාව සියයට සියයක් සම්පූර්ණ කළ නොහැකි වුවත් ඔවුන්ගේ සිත් සතුටු කිරීමට රජයේ නිලධාරීන්ට හැකි බව ද ජනාධිපතිතුමා පැවසීය. 
     
    ඇතැම් දේශපාලනඥයන්ගේ ඉල්ලීම් හා ක‍්‍රියා නිසා පරිපාලන නිලධාරීන් අපහසුතාවට පත් වූ අවස්ථා තිබුණ ද ඉන් අපේ රටේ ජනතාව තුළ පරිපාලන සේවයට ඇති ගෞරවයත් පිළිගැනීමත් අඩු නොවූ බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    අමාත්‍ය කරු ජයසූරිය, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය යන මහත්වරු සහ ශ‍්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සමුළුව අමතමින් ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.
     
    මා ඉතාමත් සතුටු වෙනවා ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සමුළුව පවත්වන අවස්ථාවේ ඔබව හමුවීමට ලැබීම පිළිබඳව. අද ඔබේ වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේ සහභාගීවීම සඳහා මා වෙත ආරාධනා කර තිබුණත් අද දවසේ තිබුණු කාර්යයන් නිසා මම ප‍්‍රකාශ කළා දවල් 12 විතර වෙනකොට තමයි මම එන්නේ කියලා. මම පැමිණෙන විට මැතිවරණ කොමසාරිස්තුමාගේ දේශනයයි පැවැත්වෙමින් තිබුණේ. මම දන්නවා නම් මැතිවරණ කොමසාරිස්තුමාගේ විශේෂ දේශනයක් තියනවා කියලා මම කළින් එනවා අනෙක් වැඩ නවත්තලා. ඒ නිසා විශේෂයෙන් ම අද මේ තෝරාගැනීම මම ඉතාමත් අගය කරනවා. 
     
    මට කතාවට ආරාධනා කළ නිවේදක මහත්තයා ප‍්‍රකාශ කළ අන්දමට ඔබ කවුරුත් දන්නවා මේ රටේ රාජ්‍ය සේවයේ පුංචි ම තැන සිටි කෙනෙක් විදිහට එතැන් පටන් මා ආ ගමනේදී තමයි අද ඔබ හමුවෙන්නේ. බොහෝ වෙලාවට පරිපාලන සේවය පිළිබඳ කතා කරන විට දිස්ති‍්‍රක්කයක දිසාපති තනතුරේ සිට රාජ්‍ය සේවයේ අවසාන පුරුක වූ ග‍්‍රාම නිලධාරී දක්වා දිස්ති‍්‍රක් පරිපාලනය තුළ සකස් වී ඇති ව්‍යුහය අපිට ඔබට අද ඊයේ හුරුපුරුදු දෙයක් නෙවෙයි.
     
    අපේ රටේ ගම්මුලාදෑනි ක‍්‍රමය ආරම්භයේ සිට දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන දෙයක්. රාජ්‍ය සේවයට දේශපාලන සම්බන්ධතාව ගත්විට මම හිතන්නේ බොහෝ විට මගේ දේශපාලන ජීවිතය විශේෂයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් විදිහට කටයුතු කළ පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසය දක්වා අවුරුදු 25කට වැඩි කාලය තුළ ඒ ලැබූ අත්දැකීම් සමඟ මම දන්නවා මේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් අතරේ තිබෙන්නා වූ විශේෂයෙන් තම තමන්ගේ වගකීම් කාර්යයන් සහ යුතුකම පිළිබඳ තම අරමුණු ඉටුකර ගැනීමේදී ඊට මුහුණදීමේදි එන ගැටුම් හා ප‍්‍රශ්න.
     
    මම 1976 ග‍්‍රාම නිලධාරියෙක් විදිහට පත්වෙලා 77 මැතිවරණ වේදිකාවේ කතා කරපු නිසා මට 78 විනය පරීක්ෂණයක් තිබුණා. කෙසේ වෙතත් ඒ වන විට එම විනය පරික්ෂණය යන අතරවාරයේ මම ඉල්ලා අස්වුණා. මම ඉල්ලා අස්වුණේ මම ගෙදර ඉදලා කාර්යාලයට ගියහම හැමදාම උදේට මට තියෙන්නේ කාර්යාලයේ දොර යතුර දාලා අරින්න කලින් බෝඞ් එකේ තියෙන පෝස්ටර් ටික ගලවලා අයින් කරන්න. ග‍්‍රාම නිලධාරී කියන අර නිල් පාට බෝඩ් එකේ 77 මැතිවරණයෙන් පස්සේ මම ගිය හැම දවසකම තිබුණේ ග‍්‍රාමයා ගෙදර පළ කියලා දැන්වීමක්. ඉතින් ඒ පෝස්ටර් ගහපු අයව මට හොයාගන්න පුළුවන් නම් අද මට කළ හැකි උපරිම ජනාධිපති සම්මානය දෙනවා ඒ අයට. මොකද ඒ ගොල්ලෝ පෝස්ටර් ගැහුවේ නැත්නම් මම ඒ තනතුරේ එතනින්ම විශ‍්‍රාම යාවි.
     
    ඉතින් ඒ අතීතයේ රසවත් සිදුවීම් සමඟ විශේෂයෙන් ම එදා මෙදා කාලය ගත්විට මම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක්, ඇමතිවරයෙක් විදිහට කටයුතු කාලවල මා සමඟ කටයුතු කළ නිලධාරී මහත් මහත්මින්. මෙතන ඉන්න සෑහෙන පිරිසක් මා පෞද්ගලිකව දන්නා හඳුනන අය. මේ කාල සීමාව තුළ රජයේ නිලධාරියෙකුට පරිපාලන සේවයේ පමණක් නෙවෙයි ඉන් එහාට හෝ මෙහාට කුමන මට්ටමක වුණත් මම 1989 සිට විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් සිට මේ දක්වා කාලය තුළ වැඩ කිරීමේදී මැතිවරණයක් අවස්ථාවක පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ කෙනෙකුට මම කියලා තියනවනම් මම නියෝජනය කරන දේශපාලන පක්ෂයට ඡන්ද හරවන්න. ජනතාව ඒකරාශී කරන්න කියලා කියලා තියනව කියලා කවුරු හරි කිව්වොත්  ඕනෑම දඬුවක් විඳින්න මම අදත් ලෑස්තියි.
     
    මට මතකයි මීට අවුරුදු 10 විතර පෙර මම ඇමතිවරයෙක් විදිහට කටයුතු කරද්දි මගේ හිතවත් නියෝජ්‍ය අමැතිවරයෙක්ගේ ආරාධනාවක් තිබුණා ආණමඩුව ප‍්‍රදේශයේ උත්සවයකට, මම ඒ උත්සවයට කලින් දවසේ පොලොන්නරුවේ ඉදලා ආණමඩුවට ගියා. පහුවෙනිදා උදේ උත්සවය තිබුණේ, ඒ නිසා රාති‍්‍ර පුත්තලම ප‍්‍රදේශයේ ඉදලා ආණමඩුවේ උත්සවයට යන්න. මම ගල්ගමුවෙන් ගිහිල්ලා එතනින් ආණමඩුව පාරේ යනකොට රෑ 10 විතර ඇති මම දැක්කා පාර දිගට තැන් තැන්වල පිරිස එකතුවෙලා පහුවෙනිදා මෙම එන උත්සවයට නිල් පාට කොඩි අදිනවා පාර දෙපැත්තේ. මම දන්නවා මට හිතවත් අය මෙතන ඇති කියලා. රියදුරාට කිව්වා ටිකක් හෙමින් යන් පාර දෙපැත්තේ අපේ ඇමතිවරුත් ඉන්න පුළුවන් කියලා ඉස්සරහට යනකොට ටිකක් සෙනඟ වැඩිඩිපුර හිටපු තැනක් තිබුණා. එතකොට රෑ 10 විතර ඇති මම කිව්වා එතන නවත්වන්න කියලා. මම වාහනෙන් බැස්සහම ඒ ප‍්‍රදේශයේ මට පසුදා උත්සවයට ආරාධනා කළ මගේ හිතවත් නියෝජ්‍ය ඇමතිතුමා ඒ සෙනඟ අතරේ ඉදලා මම ළඟට ආවා.
     
    ඇවිල්ල ආ සර් හමුවුන එක හොදයි. හෙට අපේ උත්සවයේ. මේ ළමයි වැඩ කරනවා බැහැපු එක හොදයි කතා කරන්න කියලා මට එතන හිටපු එක එක්කෙනා හඳුන්වලා දුන්නා. ඒ අතරේ මට කිව්වා සර්ට පෙන්නන්න  ඕන කෙනෙක් ඉන්නවා ඉතා වැදගත් කෙනෙක් ඉන්න සර් පොඩ්ඩක් කියලා. මම ඇහුවා කවුද, නියෝජ්‍ය ඇමතිතුමා හයියෙන් කෑ ගහලා කතා කලා. මම දැක්කේ මනුස්සයෙක් එනවා නෙවේ. නිල් පාට කොඩිවැල්වලින් වැහුණු යමක් එනවා. නිල් පාට කොඩිවැල් අතෙත් දාගෙන කරේත් දාගෙන, ඇගෙත් දාගෙන. මම ඇහුවා කවුද මේ, සර් මේ අපේ ප‍්‍රදේශිය ලේකම්නේ මේ, මගේ මතකයේ එය හොඳින් තිබෙන්නේ විශේෂයෙන්ම මන්තී‍්‍රවරයෙක් විදිහට මම මේ දක්වා ආපු ගමනේදී මම කිසිදවසක මම එහෙම කෙනෙක්ව පාවිච්චි කරලත් නැහැ. එහෙම එන්න කියලත් නෑ. එහෙම ආවනම් මම කියනවා මේක ඔයාට ගැලපෙන්නේ නෑ. මෙතන ඉන්න එපා කියලා. ඉතින් ඒ වගේ රසවත් සිදුවීම් බොහෝ දේ තිබෙනවා.
     
    ඒ වගේම ඔබ එකඟ වුණත් නැතත් මේ රටේ රාජ්‍ය සේවයේ ඛේදවාචකයක් තමයි මම දැක්කේ පසුගිය ජනාධිපතිවරණයේදී. පසුගිය ජනාධිපතිවරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන්න මාස තුනකට කලින් තමුන්නාන්සේලා අතරේ සිටින පිරිස්වලට, පරිපාලන සේවයේ ද ඉංජිනේරු සේවයේ ද නැත්නම් රක්ෂණ සේවා ද ආචාර්ය, මහාචාර්ය විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ මේ හැමතැනම ඉන්න අයට එක පැත්තකින් ආරාධනා කළා මාධ්‍යයට ගිහින් කියන්න අපේක්ෂකයෙක් ගැන කතා කරන්න. තවත් පැත්තකින් නියෝග කළා. තවත් පැත්තකින් තර්ජනය කළා. අපේක්ෂකයෙක් පිළිබඳ කතා කරන්න.
     
    රාජ්‍ය සේවය කියන එක මැතිවරණ අවස්ථාවක ඒ තරම් පහළට වැටුණු අවස්ථාවක් මම මගේ දේශපාලන ජීවිතයේ දැකලා නැහැ. මම මුලින්ම මැතිවරණ වේදිකාවක කතා කළේ 1969 පොලොන්නරුව ගම් සභා මැතිවරණයේදී. ඒත් එක්කම පොලොන්නරුව නගර සභා මැතිවරණය. එදා මෙදා කාලය තුළ මම දැක්කා විවිධ රජයන් මැතිවරණ වෙලාවට රාජ්‍ය නිලධාරීන්, පරිපාලන සේවය නොයෙක් අය පාවිච්චි කළ ආකාරය. සාමාන්‍යයෙන් ඒ පිළිබඳ ව තිබුණු නරකම වාර්තාව මගේ මතකයේ හැටියට 83 ජන මත විචාරණය. 83 ජන මත විචාරණයේ වාර්තාව බින්දා පසුගිය ජනාධිපතිවරණයේ පරිපාලන සේවය ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල ඉන්න අය දේශපාලන කටයුතුවලට සහභාගී කරවා ගැනීම කිසිම ශීලිචාරකමක් නැති විදිහටයි කළේ.
     
    ඒ නිසා තමයි පසුගිය මැතිවරණයේදීත් අපේ මැතිවරණ ප‍්‍රකාශනයේදීත් අපි කිව්වේ විශේෂයෙන්ම රාජ්‍ය සේවය අපක්ෂපති කරනවා, ස්වාධීන කරනවා කවුරුත් දන්න නිතරම කතා කරන රට ම කතා කරන යහ පාලනය කියන එක අපි ඇතිකරනවා කියලා. මම ඉතාමත් පැහැදිලිව කියන්නම් මම මේ ධූරයේ සිටින කාලය කොතෙක්ද කිසිම රාජ්‍ය සේවකයෙකුට එවැනි තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියන්නේ නෑ කියන පැහැදිලිව කියනවා. අපිට අපේ සේවාවන්වල තිබිය යුතු මධ්‍යස්ථ භාවය, අපක්ෂපාතිත්වය, ස්වාධීනත්වය මේ කියන කරුණු සැලකිල්ලට ගැනීමේදී පරිපාලන සේවයේ ඔබේ තියෙන ආදර්ශය හා නායකත්වය ඒ සියලු ක්ෂේත‍්‍රවලට ඉතාමත් වැදගත්. මම ඒ ගැන ඊට වඩා කතා කරන්නේ නෑ. රජයක ප‍්‍රතිපත්ති, සැලසුම් ඉලක්කගත වැඩසටහන්, මහජන සම්බන්ධතාව විශේෂයෙන්ම ඒ රජයේ පැවැත්ම, රටේ අනාගතය පිළිබඳ ව ඉතාමත් වැදගත් සාධක කියන එක තමුන්නාන්සේලා දන්නවා.
     
    අපේ රටේ රජයේ කාර්යාලවල මහජන සම්බන්ධතාව එක් එක් කාලවලදී යහපත් වෙනවා අයපහත් වෙනවා. විශේෂයෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හා මහජනයා නිතර එන ස්ථානවල අද අපි එතරම් සතුටුදායක තතත්වයක නැහැ කියලයි මම හිතන්නේ මහජනයාගේ දුක් ගැනවිලි පිළිබඳ. මම මීට පෙරත් කියලා තියනවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, මහවැලි අංශ ගත්තහම අපේ රටේ ඉඩම් අංශ බොහෝ විට දූෂිත නොවේයැයි කියන්න අමාරුයි. 
     
    ඉඩම් අංශ පිළිබඳ ව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශත්, පළාත් ඉඩම් අංශත් ඒ වගේම ඉඩම් කටයුතු කරන මහවැලි බල ප‍්‍රදේශවලත් ඉඩම් ප‍්‍රශ්ණ සම්බන්ධයෙන් යන එන මහජනතාව සමඟ කතා කළොත්, සමීක්ෂණයක් කළොත්, අධ්‍යයනයක් කළොත් ඒ ලබාගන්නා තොරතුරු කොතෙක් දුරට රාජ්‍ය සේවයට සහතිකයක් දෙනවද කියන කාරණාව ඔබම සොයා බැලිය යුතු කාරණාවක්. අපේ රටේ උසාවිවල තියෙන නඩුවලින් වැඩි ප‍්‍රමාණයක් තියෙන්නේ ඉඩම් නඩු. මිනීමැරුම් හා කළකොලහල පිළිබඳ තිබෙන නඩුවලින් ඒවා ඇතිවීමට හේතු සොයා බැලුවහම වැඩි ප‍්‍රතිශතයක් තියෙන්නේ ඉඩම් පිළිබඳ සිද්ධින්.
     
    ඒ නිසා රජයක් විදිහට කටයුතු කරද්දි අපි බලාපොරොත්තු වෙනවා මේ තිබෙන තත්ත්වයට අවශ්‍ය වෙනස ලබාදීම සඳහා ඔබේ දායකත්වය ලැබේවයි කියලා. ඒ පිළිබඳ විවිධාකරයේ අදහස් හා සංවාද තියෙන්න පුළුවන්. නමුත් ඔබම සමික්ෂණය කළොත් ඉඩම් අංශයට එන මහජනයා සතුටින්ද, අසතුටින්ද යන්නේ කියලා ඒගොල්ලෝ මොනවද කියන්නේ. මේ තත්ත්වය රටේ ඉඩම් රාජකාරී කරන බොහෝ තැන්වල සතුටුදායක නැහැ කියලයි මම දකින්නේ. විශේෂයෙන්ම මහජන සම්බන්ධතාවයේදී එන කරුණු අපි දන්නවා දේශපාලනඥයන් විදිහට ගත්තහම මැති ඇමතිවරුන් ළඟට එන සියලුදෙනා සතුටු කරන්න පුළුවන්කමක් නැහැ. එන අයගෙන් සියයට 5%ක්වත් සතුටු කරන්න බැහැ මොකද රැකියා ඉල්ලගෙන මාරුවීම් ඉල්ලගෙන, උසස්වීම් ඉල්ලගෙන එන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. නමුත් ඒ අයගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න බැරිවුණත් ඒ අයගේ සිත් සතුටු කිරීමේ වගකීම ඒ වැඩකරන අංශවල අයගේ ප‍්‍රධාන වගකීමක් වෙනවා.
     
    දැන් දවස් දෙක තුනකට කළින් මාව හමුවෙන්න මගේ නිල නිවසට ආපු හිතවතෙක් යන ගමන් මට කියලා ගියා සර් මේ මෙතනට ගොඩවෙනකොට මේ එන අයට වාඩිවෙන්න කියනව වගේම ඒ ගොල්ලන්ගේ මුණේ හිනාවක් තියනවනම් හොදයි සර් කියලා කිව්වා. මම කිව්වා එහෙම අඩු පාඩුවක් තියනවනම් මම ඒක පිළිගන්නවා. මම ඒ වැඩකරන ළමයිට කියන්නම් වාඩි වෙන්න කිව්වට මදි. ඊට වඩා ඒ අයව පිළිගන්න. ඒ අයත් එක්ක කතා කරන්න කියලා මම ඒ සඳහා වැඩපිළිවෙළක් හදන්නම් කියලා.
     
    ඒ නිසා වැඩි මහජන සම්බන්ධතාවක් තිබෙන රජයේ කාර්යාලවල තත්ත්වය සැලකිල්ලට ගත්තහම ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරිම ඒ අංශවල ප‍්‍රධානීන් විදිහට කටයුතු කරන තමුන්නාන්සේලාගේ වගකීමක්. රජයක ප‍්‍රසාදය, අප‍්‍රසාදය පැවැත්ව ඒ සඳහා ඔබ නායකත්වය දෙන ආයතනය තුළින් ඉටුවන කාර්යය ඔබ දන්නවා කොතෙක් දුරට බලපානවාද කියන කාරණය. අමාත්‍යාංශයක් ගත්තහම අමාත්‍යාංශයකට එන පිරිස විශේෂයෙන්ම බදාදා දවස ගත්තොත් ඒ එන අය මොන මට්ටමින්ද ආපසු යන්නේ කියලා අපි සොයලා බලනවානම් හොදයි.
     
    සාමාන්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බදාදාට දාහකට වැඩිය එනවා රස්සාවල් ඉල්ලගෙන, මාරුවීම්, උස්සවීම් නොයෙකුත් දුක් ගැනවිලි. ඒ අය පිළිබඳ සමීක්ෂණය කරපුවම එන අයගෙන් 90%ක් විතර සතුටින් නෙවේ යන්නේ කියන එක වාර්තා වුණා. මම ඒ ආයතන ප‍්‍රධානීන් එක්ක සාකච්ඡා කළා අපි කොහොමද ඒ තත්ත්වය වෙනස් කරගන්නේ කියන කාරණාව.
     
    ඒ නිසා ප‍්‍රධාන වශයෙන්ම අසරණ දුප්පත් දුගී පොදු මහජනතාව රජයේ කාර්යාලවලට පැමිණිමේදී මම වගේම ඔබ දන්නවා නොයෙකුත් දුෂ්කරතාවන් තුළ එන්නේ. සමහර විට බස් එකේ එන්න සල්ලි නෑ. සමහරවල වෙලාවට කියනවා මේ වැඩේට හතළිස් සැරයක් පනස් සැරයක් ආවා. ලියුම් ලිව්වා කියලා. එවැනි කාර්යයන් ඔබ හොඳින් දන්නවා. නමුත් රජයක් විදිහට කටයුතු කරද්දී විශේෂයෙන් මහජන සම්බන්ධතාව සඳහා තිබෙන අංශවල මේ සම්බන්ධයෙන් වඩා ප‍්‍රමුඛත්වයක් දීලා තියෙන අඩුපාඩු සොයා බලා ඒවා නිවැරැදි කරගෙන වැඩි මහජන සම්බන්ධතාවක් ගොඩ නැගීමට එන මහජනතාවගේ සිත් සතුටු කරන්න පුළුවන්වීම ඉතා අවශ්‍ය වෙනවා.
     
    ජනාධිපති ලේකම් කාර්යාලය ගත්තහම දවසකට එන ලියුම් ප‍්‍රමාණයෙන් ලියුම් දෙසියක් දෙසීය පනහක් විතර එනවා නොයෙක් දුක් ගැනවිලි පිළිබඳ ඒ අතර නොයක් දුෂණ වංචා පිළිබඳ පැමිණිලි එනවා. තවත් පෞද්ගලික ගැටලු පිළිබඳව. ඒ එන ලියුම් සංඛ්‍යාව ගත්තහම ඒ ලිපි වලින් අපට විසඳන්න පුළුවන් ප‍්‍රශ්න මොනවද, කොහොම විසඳන්නේ මොන විදිහටද ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුත්තේ කියලා කතා කරපුවම අපට අමාත්‍යාංශ සමඟ දැනට වඩා ඒකාබද්ධ වැඩසටහනක අවශ්‍යතාව අපි දැක්කා. ඒ නිසා රජයේ කාර්යාලය අමාත්‍යාංශවල වැඩකරන අයගේ යම් යම් ප‍්‍රශ්න ගත්තහම සමහර වෙලාවට සමහර ආයතනවල වැඩකරන අංශවල තමන්ගේම අමාත්‍යාංශය ගත්තහම මහල් කිහිපයක් තියනවනම් ප‍්‍රධානීන් තමන්ගේ කාර්යාලය ඇර අනෙක් තැන්වලට යන්නෙත් නැහැ. ඇතැම් අංශවල ඉන්නේ කවුද කියල දන්නෙත් නැහැ. එවැනි අවස්ථාවන් අපි දන්නවා.
     
    ඊළගට කාර්යල තුළ තියන පරිගණක බැලුවහම ඒ කාර්යාලයේ කෙරෙන කටයුතු කෙතෙක් දුරට ඒකේ ඇතුළුවෙලා තියනවද කියන එක නුදුසුසු දේවල් කෙතෙක් තියනවද කියන එක මම හිතන්නේ ඔබ දන්නවා ඇති. අපිට ප‍්‍රධාන වශයෙන් කාර්යාලවල දවසේ පැය අට මේ පැය අටෙන් අපි ගන්න ප‍්‍රයෝජනය කොතෙක්ද අපේ ඉලක්කගත වැඩසටහන් විශේෂයෙන්ම මහජන සම්බන්ධතා කටයුතු මේ කාරණා සැලකිල්ලට ගත්තහම විශේෂයෙන්ම අපේ වැඩි මහජන සම්බන්ධතාවක් තියෙන රාජ්‍ය සේවයේ කාර්යාල පද්ධතිය තුළ දැනට වඩා කාර්යක්ෂමතාවක අවශ්‍යතාව අපි දකිනවා. ඒ නිසා මේ කටයුතුවලද මූලික වශයෙන් ඔබේ අවධානය යොමු කරනවා.
     
    ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විදිහට ඔබේ සේවයට අපේ රටේ තියෙන්නේ ගෞරවයක්. පිළිගැනීමක්. විශේෂයෙන්ම පරිපාලන සේවා නිලධාරියෙක් කිව්වහම ඔහුට තිබෙන පිළිගැනීම, ගෞරවය මේ දීර්ඝ කාලීන සේවයක අපක්ෂපාතිත්වය, ස්වාධීනත්වය සහ ඒ සම්බන්ධයෙන් පෙන්වන දක්ෂකම් නිසයි එය ලැබිලා තියෙන්නේ. නමුත් බොහෝ වෙලාවට ඇතැම් දේශපාලඥයන් විසින් රාජ්‍ය නිලධාරීන් අනිසි විදිහට තමන්ගේ කාර්යයන් සඳහා දේශපාලන කටයුතු සඳදහා භාවිත කිරීම, වෙනත් වංචා දූෂණ වැරදි වැඩ සඳදහා යොමු කිරීම සහ සහයෝගය ලබා ගැනීම පිළිබඳ ගත්තහම එවැනි අවස්ථාවලදී ඔබ බරපතල විදිහට ගැටලුවලට මුහුණදෙන අවස්ථාවන් තිබෙනවා.
     
    මේ සියලු කටයුතුවලදී ඔබේ අත්දැකිම්, දැනුම සහ බුද්ධිය තුළ තමන්ගේ උපක‍්‍රමශිලි භාවය සමඟ කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. අපේ රටේ රාජ්‍ය සේවය ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. කිර්තිමත් ඉතිහාසයක් තිබෙන්නේ. වරින් වර නොයෙක් අඩුෙපාඩු ඇති වෙනවා. අලුත් රජයන් බලයට ආවහම එම රජයන්වල නව ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේදී ලැබෙන උපදෙස් චක‍්‍රලේඛ මගපෙන්වීම් මේ සියල්ල එක්ක ඔබ ඒ කටයුතු කළමනාකරණය කර ගැනීමේදි ඔබේ දක්ෂකම හැකියාව මත තමයි ඒ තත්ත්වයන් පිළිබඳ ගෞරවය සැලකිල්ල ලැබෙන්නේ.
     
    නව රජයක් විදිහට කටයුතු කරද්දි දැන් ළගදීම තව මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තු මැතිවරණය. ඒ පාර්ලිමේන්තු මැතිවරණය මේ රටේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය පිළිබඳ ව ඉහළ ම සහතිකය ලබන මැතිවරණය බවට පත්කර ගැනීමට අපි සියලුදෙනාගේ යුතුකමක් සහ වගකීමක් තිබෙනවා.
     
    රට වෙනුවෙන් සහ ඔබේ සේවය වෙනුවෙන් කළහැකි කාර්යන්වලදී උපරිම උත්සාහය අරගෙන ඔබ කටයුතු කරන්න. රජයක් විදිහට එම ගෞරවය සැලකිල්ල, පිළිගැනීම වඩ වඩාත් ශක්තිමත් කරන්න වර්ධනය කරන්න රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ අප සැමවිටම කි‍්‍රයාකරන බව ප‍්‍රකාශ කරනවා.
     
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya