මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ ගැටලු විසඳීමට ජනපති උපදෙස් දෙයි

    මාර්තු 19, 2015
    වර්තමානයේ විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ උද්ගතව ඇති ගැටලු පිළිබඳ සොයා බලා විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දුන්නේ ය. 
     
    රජය ඉදිරිපත් කළ අතුරු අයවැයේ විදුලි සංදේශ සේවා සපයන්නන් මුහුණ පෑ ගැටලු පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විදුලි සංදේශ සේවා සපයන්නන් සමඟ ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දී මෙම උපදෙස් ලබාදීම සිදුවිය. 
     
    මෙහිදී විදුලි සංදේශ සේවා සපයන්නන් තමන් මුහුණපාන ගැටලු පිළිබඳ ව දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බැවින් ඒවාට ඉක්මන් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපතිතුමාගේ අදහස විය. 
     
    එසේම අතුරු අයවැයෙන් විදුලි සංදේශ සේවා සපයන්නන් සඳහා පනවන ලද බද්ද ඉතා කෙටි කාලයකට පැන වූ එකක් බවත් ඉදිරියේදී ඔවුන්ට බලපෑ සියළු ගැටලු නිරාකරණය කිරීමට රජය මැදිහත් වන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විදුලි සංදේශ සේවා සපයන්නන් හමුවේ පැවසීය. 
     
    මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍ය රවී කරුණානායක, ජනාධිපති ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති පී.බී. අබේකෝන්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.එම්. සුහයිර් යන මහත්වරු ඇතුළු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya