මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතිවාදී සටන් පාඨයන්ගෙන් නැවතත් රට යුද්ධයකට ඇදගෙන යාම නොකළ යුතු යි - ජනපති

    මාර්තු 18, 2015
    ජාතිවාදී සටන් පාඨයන්ගෙන් නැවතත් රට යුද්ධයකට ඇදගෙන යාම නොකළ යුතු බව අවධාරණය කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එසේ කළහොත් නැවතත් බිහිසුණු යුද්ධයක වේදනාවන් ඉතා ඉක්මනින් රටට අත්විඳින්නට සිදුවන බව කියා සිටියේය.
     
    වර්තමාන දේශපාලන ක‍්‍රියාවලිය ඉතා සංකීර්ණ වූවකි. ලෝකයට ම අලුත් අත්දැකීමක් වූ මෙය වටහා ගැනීම දුෂ්කර වුවත් දේශපාලනයේ පරිනත ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන නියෝජිතයන් එය අවබෝධ කර ගත යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය. 
     
    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකවරු වෙනුවෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පසුගිය දින පැවති විශේෂ වැඩමුළුවට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.
     
    ඉතිහාසයේ පළමු වතාවට උතුරේ සියලු දේශපාලන පක්ෂ එකම වේදිකාවකට ගෙන ඒමට තමාට හැකි වූ බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එහිදී පැවසීය. පසුගියදා යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට තමා සමග එහි සියලු දේශපාලන පක්ෂ අසුන් ගත්තේ රටේ සියලු ජනතාව වෙනුවෙන් නව රජය ක‍්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අනුමත කරමින් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    ඉදිරි මැතිවරණ සංවිධාන කටයුතු වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා නිලධාරීන්ට වගකීම පැවරීම ද මෙහිදී සිදු කෙරුණු අතර මැතිවරණ කමිටු පත්කිරීම සේම මහජන නියෝජිතයන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පිළිබඳ ව ද සාකච්ඡා කෙරිණි.
     
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය පිළිබඳව දැනුවත් කිරීම ද මෙහිදී සිදුවිය.
     
    රට හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනීමට නම් සිංහල මුස්ලිම් දෙමළ සියලු ජාතීන් එකට එක්කර ගනිමින් ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    එදා තමා තරම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ආදරයට පාත‍්‍ර වූවෙකු තවත් සිටියේදැයි මෙහිදී ප‍්‍රශ්න කළ ජනාධිපතිතුමා තමන් හිර බත් කෑවේ කෙසෙල් කැන් කපා නොව පක්ෂය වෙනුයෙන් වැඩ කළ නිසා බව ද පැවසීය. 1977 පරාජයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වූ ඉරණම තමා හොඳින් දුටු බව පැවසූ ජනාධිපතිතුමා එවැන්නක් අනාගතයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් නොවීමට සියලු දෙනා හදවතට එකඟ ව කටයුතු කළ යුතු බව ද පැවසීය. 
     
    මේ රටේ අතීත දේශපාලන නායකයන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ පසු කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් බව පැවසූ ජනාධිපතිතුමා අද පක්ෂයේ නායකත්වය තමන්ට භාර දුන්නා නම් එය කරගෙන යාමට ඉඩ දිය යුතු බව ද පැවසීය.
     
    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු, නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya