සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් ගෙන ඒම මෙගා ටෙලි නාට්‍යයක් - මෙහි නිෂ්පාදකයින් ශ්‍රී ලාංකිකයෝ නො වේ

    නොවැම්බර් 23, 2014

    විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් ගෙන ඒම මෙගා ටෙලි නාට්‍යයක් බවත් එහි නිෂ්පාදකයින් ඉන්දියන් සාගරයෙන් එපිට බලවත් රාජ්‍යවල පුද්ගලයින් මිස ශ්‍රී ලාංකිකයෝ නොවන බවත් එහි අංග රචනය හා දෙබස් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ වන අතර එහි තිර පිටපත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.


    මෙවර විපක්ෂයේ පොදු අපේකෂකයා ලෙස ඉදිරිපත් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයාගේ භූමිකාව මෙගා ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය හා සමානයි. නමක් නැති මෙම ටෙලිනාට්‍යයට ‘‘ඇගේ වෛරය’’ ලෙස නම් තබන්නැයි මා යෝජනා කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දි අමාත්‍යවරයා එසේ කීය.
     

    මෙම ටෙලි නාට්‍යයේ සටන් අධ්‍යක්ෂණය එල්.ටී.ටී.ඊ. දෙමළ ඩයස්පෝරාව හා ඔවුන් හා බැදුණු අන්තර්ජාතික සංවිධාන සිදුකරනවා. වේශ නිරූපණ ශිල්පීන් ලෙස ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඊට එක් ව සිටින අනෙකුත් පක්ෂ විවිධ චරිත හා විකට චරිත රගපාමින් සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙහි ඇත්තේ ප්‍රධාන නළුවාගේ භූමිකාව පමණයි. ඔහු ඊළඟට රඟපාන ජවනිකාව හෝ එහි දෙබස් හෝ පිටපත පිළිබඳව එතුමා කිසිවක් දන්නේ නෑ. ‍

     

    කෙටියෙන් කියනවා නම් තමාට එතුමන් ගැන තිබෙන්නේ ඔහුගේ ඉතිහාසය පිළිබඳ ගෞරවයක් බවත් වර්තමානය පිළිබඳ විමතියක් සහ අනාගතය පිළිබද කනගාටුවක් බවත් මේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ගමට, රටට තේරෙන භාෂාවෙන් කිව්වොත් මෙගා ටෙලි නාට්‍යක් බවත් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

     

    මේ සාකච්ඡාව එතුමන්ට මඩ ගන්නවත්, චරිත ඝාතනය කරන්නවත් නෙවෙයි. මේ මේගා නාට්‍ය යන්නේ කුමන පැත්තකටද කියලා. පිටපත් ලැබෙන්නේ දවසින් දවස නිසා සුඛාන්තයෙන් ඉවර වෙන නාට්‍යයක් නෙවෙයි කියලා වැඩි දිනක් යන්න කලින් එතුමාට ම තේරේවි. රටක අභ්‍යන්තර ගැටලුවලට මැදිහත්වීමට හෝ ඊට අදාළ කටයුතුවලට මුදල් පොම්ප කිරීම විදේශ තානාපතිවරුන්ට සදාචාරාත්මක නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එජාප හෝ ටී.එන්.ඒ. හෝ කුමන ආණ්ඩුවක් තිබුණත් එය පෙරළා දැමීමට ඒ කිසිවකුට හෝ මැදිහත් වීමකට, මුදල් පොම්ප කිරීමට අයිතියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

     

    ශ්‍රී ලංකාව වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේත් පුරාවට විවිධ කුමන්ත්‍රණ දියත් වුණා විතරක් නෙවෙයි කුමන්ත්‍රණවලින් පිරිලා තිබුණා. පසුගියදා අපි දුටුවෙත් එවැනි ම කුමන්ත්‍රණයක් හා පාවා දීමක්. 21 වැනිදා කියන්නේ සුවිශේෂී දිනයක්. ඒකට හේතුව ජනතා ඡන්දයෙන් තේරීපත් වුණ යුක්ක්‍රේනයේ ජනාධිපතිතුමා බලයෙන් එළවා දැමූ දවස. මෙය ජනතාවගේ කැමැත්ත හෝ එහි දේශපාලන පක්ෂවල කැමැත්ත අනුව කරපු දෙයක් නෙවෙයි. රාජ්‍ය දෙපාර්තමේන්තුව හා කිව් අගනුවර තානාපතිවරයා සමඟ කරපු දුරකථන සංවාද මාධ්‍යයට මුදා හැරියා සෝවියට් දේශය මඟින් ජනමාධ්‍යවලට. ඇමරිකානු ඩොලර් බිලියන 05ක් එම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කළා. අද වෙනකොට මුළු යුක්ක්‍රේනය ම අස්ථාවර වෙලා තිබෙනවා.4300ක් ජීවිතක්ෂයට පත්වෙලා. ලේ විලක් බවට පත්වෙලා තිබෙනවා. ඒ ප්‍රජතන්ත්‍රවාදි රජයක් පෙරළීමෙන් ඇති වුණ සිද්ධිදාමයකට ආසන්න උදාහරණය. අන්න ඒ දිනේ තමයි ශ්‍රී ලංකාවට අදාළව එළි දැක්කේ. අපේ රටේ සිදුවුණු මේ සිද්ධියට කිසිදු දේශපාලන කාරණයක් නැහැ. තනිකරම පුද්ගලික කාරණයක් තමයි මීට හේතුවෙලා තිබෙන්නේ. ව්‍යවස්ථාමය වෙනස, මැතිවරණ ක්‍රමය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය පැහැදිලියි. නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් සභාවක් පත් කරලා තිබෙනවා. නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඊට දේශපාලන පක්ෂවලට, සංවිධානවලට, ජනතාවට අදහස් යෝජනා ලබාදෙන්න අවස්ථාව ලබාදී තිබෙනවා. බොහෝ අය යෝජනා ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක්, ජනාධිපතිවරයෙක් මේ යෝජනා ගන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නිසා.


    හැබැයි මේ ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන වුවමනාවක් මත හෝ එහි අභිලාෂයන් මුදුන් පමුණුවා ලීමේ අරමුණින් වන ක්‍රියාවලියක් නෙවෙයි. අපිට කනගාටුයි අපි ආදරය කරපු, ගෞරව කරපු අපි වගේ ම ගමෙන් ඇවිත් ගෞරවණීය දේශපාලනයක් කළ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙහි ගොදුරක් කර ගැනීම. තිස්ස අත්තනායක මහත්මයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බලයට පත්වෙලා පැය විසි හතරක් යන්න කලින් සියලුම බලතල රනිල් වික්‍රමසිංහ මහත්මයට පවරා දිය යුතුයි කියලා. කොහොමද එය ව්‍යවස්ථානුකූලව කරන්නේ කියලා අපි දන්නේ නැහැ. එක පැත්තකින් දින 100 කින් ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා අනිත් පැත්තෙන් කියනවා අගමැතිවරයා රනිල් මහත්මය කියලා. එතකොට ගෙදර සාලේ ඉන්න ජනතාවට හිතෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයට මොකක්ද වෙන්නේ කියලා. එතුමා කරන්නේ කගේ රාජකාරියක්ද ? එතුමට කොන්දෙසි දාලා පැය 24 ඇතුළත කියලා. ඒ නිසා තමයි මම කිව්වේ මෙහි තිර පිටවත් ප්‍රධාන නළුවට දීලා නැහැ කියලා. මෙය කොටස් ගාණකින් යන නාට්‍යයක්. අපි වගකීමෙන් කියනවා ඉදිරියේදි හෙළිදරව් කරනවා මේ විදේශ බලවේග කවුද කියලා.

     

    එජාප නායකත්වය යටතේ ජනාධිපතිවරණ දෙකක් පැරදුණා. දෙකක් පාවා දෙනවා. පාක්ෂිකයාගේ ආත්ම ගෞරවය විනාශ කරලා. මෙරටට නිදහස ගෙන්න සටන් කළ පක්ෂයක්. ඇයි පාක්ෂිකයාට මේ තරම් අගෞරවයක් කරන්නේ. වසර 10ක් බලයේ සිටි පක්ෂයක් සමඟ මේ මැතිවරණය කරන්නේ. ඇයි මේ තරම් දුර්වල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ ම එජාපය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිටිය යුතු පක්ෂය. එජාපය ත්‍රස්තවාදි ප්‍රශ්නයෙදි අන්තර්ජාතිකය ඉදිරියේ දණින් වැටුනා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනස් වුණේ එතනින්. එතුමා අන්තර්ජාතික පීඩනයට නැමුණේ නැහැ. ජේ. ආර් ජයවර්ධනගේ ඉඳලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දක්වා හිටපු නායක නායිකාවන් ජාත්‍යන්තරය ඉදිරියේ දණ ගැසුවා. ඒ නිසාම පරාජිත සේනාධිනායකයින් ලෙස ඉතිහාස ගත වුණා. 2005 අපි සමඟ ජවිපේ, හෙළ උරුමය හිටියා. අපි ඒ අයගෙන් ඉල්ලන්නේ මෙහි දිග, පළල, ගැඹුර තේරුම් ගන්න කියලා. ජාතික න්‍යාය පත්‍රය අතේ තියෙනවා නම් මේ මොහොතේ හරි මේ ගැන අවධානය යොමු කරන්නැ යි අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළේය.


    මෙහිදි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු ද අදහස් දැක්වූහ.

     

    HC/NK

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya