සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ රණ විරුවන්ගේ මාපියන්ට උපහාර

    ඔක්තෝබර් 28, 2014
    දශක තුනක් මුළුල්ලේ මෙරට වෙලාගෙන තිබූ කුරිරු ත්‍රස්තවාදය අවසන් කර අප මාතෘ භූමියට සාමය උදා කිරීම සඳහා මානුෂීය මෙහෙයුම්වල දී දිවා රෑ නොබලා වෙහෙස වී අභීතව සිය ජීවිත පූජාවෙන් සතුරා සමඟ සටන් කළ රණ විරුවන්ගේ මාපියනට උපහාර දැක්වීමේ උළෙලක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
     
    යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන දමයන්ති රත්නායක මහත්මිය ප්‍රම්‍රඛ සාමාජිකාවන් විසින් සංවිධානය කරනු ලැබූ "අංජලිකරණීයයි ඔබ" නමින් නම් කරන ලද මෙම උපහාර උත්සවයේ දී යුද හමුදාවේ සියලු ම රෙජිමේන්තු නියෝජනය කරමින් රණ විරු මාපියන් 150 දෙනෙකුට පමණ උපහාර පිදුණ අතර මෙම වැඩසටහනෙහි පළමු අදියර පසුගිය වසරේ දී පවත්වනු ලැබීය.
     
    මෙම ප්‍රණාම උත්සවය සඳහා පරම වීර විභූෂණ, වීර වික්‍රම විභූෂණ සහ රණ වික්‍රම රණ ශූර පදක්කම්වලින් පිදුම් ලැබූ සියලු ‍රෙජිමේන්තුවලට අයත් යුද හමුදා සෙබළාගේ සිට ලුතිතන් කර්නල් නිලය දක්වා මෙම මෙහෙයුම්වලදී ප්‍රාණ දානය ලබා දුන් රණ විරුවන්ගේ දෙමාපියන් තෝරාගෙන තිබිණි. 
     
    වසර තිහක කාලයක් පුරා යුද්ධයේ දී දිවි දුන් රණ විරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මාපියන්ට උපහාර දැක්වී‍මේ අවස්ථාවේ දී මාපියන්ට යළි ඔවුන් මතකයට නැගීම දැඩි සංවේදී අවස්ථාවක් ද විය.
     
    යුද හමුදාපති ලුතිතන් ජෙනරල් දයා රත්නායක මහතා මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තෙකු ලෙසින් සහභාගී වූ අතර උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ අයෝමා රාජපක්ෂ මහත්මිය සමග සහතිකපත් හා ත්‍යාග බෙදාදීමේ අවස්ථාවට එක්වූවාය. ‍
     
    තම දරු දෙදෙනා ම මෙන්ම තමන්ට සිටි එක ම පුතු ද යුද්ධයේ දී රට ජාතිය වෙනුවෙන් දිවි දී අහිමි වූ මාපියන් ද ඒ අතර වූ අතර දුර බැහැර ප්‍රදේශවල සිටි ඔවුන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව වෙත ගෙන ඒමට යුද්ධ හමුදා රෙජිමේන්තු මගින් පහසුකම් සපයා තිබිණි.
     
    මෙම අවස්ථාවේ දී මාපිය ගුණ සමරා ප්‍රවීණ ගායක විශාරද ටී.එම්. ජයරත්න, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙනෙවිය, නිර්මලා රණතුංග සහ විශාරද මේඛලා මෙනෙවිය ද ගායනා ඉදිරිපත් කළහ.
     
    එහිදී උපහාර ලැබූ මාපියන් අමතා කතා කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා එම මාපියන් මෙවැනි රණ විරු දූ පුතුන් මෙලොවට බිහි කළ දෙමාපියන්ට ගෞරව දැක්වීම පිණිස මෙම වැඩසටහන සිදු කෙරෙන බවත් එම දෙමාපියන් යෝධ ශක්තියක් වන් මෙවැනි රණ විරුවන් බිහි කර යුද්ධයට කැප කළ නිසා මේ රට දෙකඩ කිරීමට ත්‍රස්තවාදයට ඉඩ නොලැබූ බවත් කීය. 
     
    තවත් මෙවැනි දෙමාපියන් හා රණ විරුවන් සිටින තාක් කල් ප්‍රභාකරන්ලා එක් අයෙක් නො ව සියයක් ආවත් අප බියවන්නේ නැති බව පැවසූ දයා රත්නායක මහතා ඒ වගේ ම යුද්ධය නිමා කිරීමට තීරණය කළ එහි නියමුවාණන් වූ අතිගරු ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා දූරදර්ශීව ගත් තීරණ නිසා මෙතරම් කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීමට ආරක්ෂක හමුදාවන්ට හැකි වූ බව ද මෙහිදී පවසා සිටියේය.
     
    එසේ ම මෙහිදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් දේශයේ රණ විරුවන් සඳහා ඉටු කරනු ලැබූ උදාරතර සේවයට ගරු කිරීමක් වශයෙන් යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන දමයන්ති රත්නායක මහත්මිය විසින් රුපියල් මිලියන 5ක චෙක්පතක් ආරක්ෂක අමාත්‍යාංශ  සේවා වනිතා ඒකකයට පිරිනමන ලද අතර එය එහි සභාපතිනිය වෙත ලබාදීම ද සිදු කරන ලදී.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා අතිරේක ලේකම් ඉන්දු රත්නායක, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සහ එම මහත්මිය, ස්වේච්ඡා බල සේනාවේ සේනාංකාධිපති මේජර් 
    ජෙනරාල් ලලිත් දවුලගල මහතා සහ සරෝජා දවුලගල මහත්මිය ඇතුළු යුද හමුදා මූලස්ථාන අධ්‍යක්ෂක ජෙනරාල්වරු, ජ්‍යෙෂ්ඨ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි 
    සභාපතිනියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya