මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතියේ, ව්‍යවස්ථාවේ සහ ආයතනයේ පවිත‍්‍රභාවය රඳා පවතින්නේ ඒවා ක‍්‍රියාත්මක කිරීමට බාරගන්නා පුද්ගලයාගේ චරිත ලක්ෂණ තුළයි Featured

    ඔක්තෝබර් 23, 2014

    මොන නීති හැදුවත්, මොන පනත් හැදුවත්, කුමන විදියේ ආයතන හැදුවත්, ඒ නීතියේ, ව්‍යවස්ථාවේ සහ ආයතනයේ පවිත‍්‍රභාවය හා නිර්මලභාවය, පිරිසිදුකම කොතෙක් තිබුණත්, ඒ සියල්ලෙහි ප‍්‍රතිඵලය රඳා පවතින්නේ ඒවා ක‍්‍රියාත්මක කිරීමට බාරගන්නා පුද්ගලයාගේ තිබෙන චරිත ලක්ෂණ තුළ බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


    සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 36 වන ගුණ සමරු උළෙල සඳහා සහභාගී වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "...ඖෂධ පිළිබඳ ව සහ එතුමා පිළිබඳ ව බොහෝ දේ අපි එදත් කතා කළා අදත් කතා කරනවා. ඒ වගේ ම විශේෂයෙන් ම අපිට මේ ගුණ සමරු උත්සව පවත්වපු හැම අවස්ථාවක ම අපි කියන දේ අහගෙන හිටපු අයත්, මේ පිළිබඳ ව කතා කරපු අපිත්, හැමදාම කිව්වේ මෙතුමාට කරන ලොකු ම ගෞරවය එතුමාගේ ප‍්‍රතිපත්තිය හා එතුමාගේ දර්ශනය ක‍්‍රියාත්මක කරනවා කියලා. මම හිතන්නේ බොහෝ විවේචන ඒ වගේ ම මේ පිළිබඳ කරන නොයෙකුත් විග‍්‍රහයන් තුළ එතුමාගේ දර්ශනයේ යම් යම් කොටස්, යම් යම් අංශ හැකි පමණින් අදත් ක‍්‍රියාත්මක වෙනවා ඒ ඉතා ම සුළු වශයෙන්.

    අප කතා කරන ඖෂධ පනත විශේෂයෙන් ම පසුගිය කාලයේ එහි තත්ත්වය ඔබ ඉතාමත් ම හොඳින් දන්නවා. මොන නීති හැදුවත්, මොන පනත් හැදුවත්, කුමන විදියේ ආයතන හැදුවත්, ඒ නීතියේ, ව්‍යවස්ථාවේ, ආයතනයේ, පවිත‍්‍රභාවය හා නිර්මලභාවය, පිරිසිදුකම කොතෙක් තිබුණත්, ඒ සියල්ලෙහි ප‍්‍රතිඵලය රඳා පවතින්නේ ඒවා ක‍්‍රියාත්මක කිරීමට බාරගන්නා පුද්ගලයාගේ තිබෙන චරිත ලක්ෂණ තුළයි කියලයි විශ්වාස කරන්නේ. මේ රටේ පාර්ලිමේන්තුවේ සම්මත වූ නීතිරීති පනත් තව බොහෝ තිබෙනවා. ඒ නිසා නීති හා පනත් තුළ යහපත් සමාජයක් සඳහා බොහෝ වෙලාවට දේශපාලන ලෝකයේ පාවිචිචි කරන යහ පාලනය කියන ගුණාත්මක කාර්යය පිළිබඳ ව ඒ නීතිරීති හැදිලා තියෙනවා. ව්‍යවස්ථා අණපනත් හැදිලා තියෙනවා. නමුත් ඒවා ක‍්‍රියාත්මක කරන පුද්ගලයන් තුළ ඒ පනතේ හා නීතියේ තියෙන ප‍්‍රතිපත්තිමය දර්ශනය නොමැති නිසා ඒවා වටිනාකමක් නැති නීතිරීති පනත් බවට පත්වෙලා තිබෙනවා.

    ඖෂධ පනත, සේනක බිබිලේ මහතාගේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔබ කවුරුත් දන්නවා 2010දී මෙම අමාත්‍යාංශය බාර අරගෙන 2011 වසර අවසාන වනවිට මාගේ කාර්යය මම ඉටු කළා. මේ 05 වන වතාවට නිසා මම දන්නේ නැහැ ඊළඟ ගුණ සමරු උළෙලේ සෞඛ්‍ය ඇමැති කවුද කියලා. විශේෂයෙන්ම මේ පනත් පිළිබඳ ව කතා කරන විට අපේ විශේෂඥ මණ්ඩල, අපේ නීතිවේදීන්, නීති විශාරදයන් මේ පිළිබඳ උනන්දුවක් දැක් වූ මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් මගේ ඉල්ලීම් ඉටු කරමින් සැදූ පනත අතුරුදන් කළා.

    මේ පනත විනාශ කළාට පසුව බොහෝ වෙලාවට මාධ්‍ය තුළ අපි ව විවේචනය කරලා අපිට කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරිද මේ ලිපි ගොනුව වත් පරිස්සම් කරගන්න කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපිගොනුව නැති වුණේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ පරිගණකය නැති වුණෙත් නැහැ. අපේ උත්සාහය අපි අත්හැරියේ නැහැ. විවේචන, නින්දා, උපහාස, ගල්මුල් මැද්දේ අපි ඒක නැවතත් පටන් ගත්තා. නැවතත් මුල සිට පටන්ගන්න සිද්ධ වුණා. ඒ කාර්යය අපේ ප‍්‍රමාණයෙන් ඉටු කරලා මේ අවුරුද්දේ මුල අපි අමාත්‍ය මණ්ඩලයට එම කෙටුම්පත ඉදිරිපත් කරනවා. අවසාන පනත නො වේ මෙය. මේ කෙටුම්පත, දළ සටහනක්. මගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි පිටපතක් අන්තර්ජාලයට එකතු කළා. අන්තර්ජාලයට එක් කළේ මේ පිළිබඳ ව මහජන අදහස්, යෝජනා, විවේචන, සංශෝධන ලබාගැනීම සඳහායි. ඒ තුළ ආපු අදහස් හා යෝජනා අනුව කැබිනට් මණ්ඩලයේ දී තිස්ස විතාරණ ඇමැතිතුමා ඇතුළු මීට සංශෝධන අපේ සහෝදර ඇමැතිතුමන්ලා කීප දෙනෙක් ම ඉදිරිපත් කළා. ඒ අනුව අපි වෘත්තීය සමිතිත් කැඳවලා නැවත මහජන අදහස්වලට  ඉඩ දීලා. ඒ අනුව අපිට සිද්ධ වුණා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පනතට තවත් එක් කළ යුතු යෝජනා සහ අදහස් නැවත එක් කිරීමට නැවත විශේෂඥ මණ්ඩලයක් පත් කළා. ඒ විශේෂඥ මණ්ඩලය පසුගිය කාලයේ  රැස්වුණා. පසුගිය කාලය තුළ ඉතාමත් සාර්ථක ලෙස විශේෂඥ මණ්ඩලය එතුමාගේ කාර්ය ඉෂ්ට කළා. දැනට ඒ සංශෝධනයට අවශ්‍ය නව සංශෝධින යෝජනා දැන් නීතිරීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවලා තිබෙනවා. අපේ අමාත්‍යාංශයේ නීති අංශයේ ඒ පිළිබඳ ව අනෙකුත් කටයුතු සිදු කෙරෙනවා. මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාගේ ඖෂධ ප‍්‍රතිපත්තිය නීතිගත කර ක‍්‍රියාත්මක කිරීම සඳහා මට කළ හැකි පමණින් කටයුතු කළා යැයි" ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, රාජ්‍ය ඖෂධ හා නීතිගත සංස්ථාවේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න  යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya