මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීමට නව තාක්ෂණය යොදා ගැනේ

    ඔක්තෝබර් 21, 2014
    රටේ සියලු දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය හා සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීම  සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දත්ත තොරතුරු ඇතුළත් ජාතික දත්ත පද්ධතියක් පිහිටුවීමට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී.

     ඒ අනුව දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සේවය කරන එම දෙපාර්තමේන්තුවට අයත් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ට හට පරිගණක ඇතුළු උපාංග ලබාදීමට පියවර ගෙන ඇති අතර, එහි ප්‍රථම අදියර යටතේ දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හට පරිගණක ලබාදීම පසුගියදා  ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන කාර්යයන් නියාමනය කිරීම හා ඒ තුළින් එම කාර්යයන් සාර්ථකව ඉටුකර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම ද අරමුණු කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම ජාතික දත්ත පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය රුපියල් ලක්ෂ 30ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.

     මීට අමතරව දිවයින පුරා විසිරී සිටින ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් වසර 15ක් පුරා මෙරට දරුවන් වෙනුවෙන් බිම් මට්ටමින් සිදු කළ රාජකාරී කටයුතුවල දී ලබාගත් අත්දැකීම් ඇතුළත් ප්‍රශස්ත ක්ෂේත්‍ර ව්‍යවහාර ග්‍රන්ථය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා වෙත පිරිනැමීම ද මෙහි දී සිදුවිය.
    ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් දරුවන් වෙනුවෙන් ඉටුකරනු ලබන සේවාවන් වඩාත් ඵලදායී ලෙස ලබාදීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේද සහිත සාර්ථක අත්දැකීම් ඇතුළත් මෙම ග්‍රන්ථය ක්ෂේත්‍ර රාජකාරි කරන ඕනෑ ම ආයතනයක නිලධාරීන්ට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස භාවිත කළ හැකි බව මෙහි දී අදහස් දැක් වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

     එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ, “දරුවන්ගේ ආරක්ෂාව මෙන් ම හෙට දවස සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමට අවස්ථාව උදාවීම භාග්‍යයක් ලෙසයි මා දකින්නේ. 

    ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ඔබ ඉටුකරන සේවයෙනුත් විශාල පිනක් සිදු වෙනවා. අමාත්‍යාංශය මගින් අපි විශාල වැඩ කොටසක් සිදුකර ඇති නිසා අද ඒ පිළිබඳ මාධ්‍යයෙනුත් නිරන්තරයෙන් විමසීම් කරනවා.

     අද ගම්, බිම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම තුළින් හෙට සිදුවිය හැකි ළමා අපයෝජනයන් හිංසනයන් වළක්වා ගැනීමට හැකිවෙනවා. විශේෂයෙන් දෙමාපියන් වැඩිහිටියන් දැන හෝ නොදැන සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් නිසා දරුවන්ගේ සිත් තුළට ඇතුළු වන නරක සිතිවිලි ඇතැම් විට ක්‍රියාවට නැගෙන්නේ ඔහු වැඩිහිටියෙකු වූ පසුවයි. බොහෝ අපරාධකරුවන්ගේ ළමා අවධිය සොයා බැලීමේ දී ඒ බව තහවුරු වී තිබෙනවා. ඒ නිසයි දරුවන් මල් වගේ බලාගන්න කියන්නේ. දරුවන් වෙනුවෙන් කටයුතු කරන කිසි ම නිලධාරියෙකුගේ සේවය වැටුපෙන්, මුදලෙන් මනින්න බැහැ. ඒක අමිල සේවයක්” 

    අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා අතින් මෙහි දී ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් වෙත පරිගණක ලබාදීම සහ ප්‍රශස්ත ක්ෂේත්‍ර ව්‍යවහාර ග්‍රන්ථය පිරිනැමීම ද සිදුවිය. 

    මේ අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් යමුනා පෙරේරා මහත්මිය ඇතුළු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීහු පැමිණ සිටියහ.
     
     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya