ජූනි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට දකුණු කොරියානු රජයෙන් කොන්දේසි විරහිත සහයක් Featured

    ඔක්තෝබර් 17, 2014
    ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමට එරෙහි ව කොන්දේසි විරහිත ව පූර්ණ සහයෝගය ලබාදෙන බව දකුණු කොරියානු රජය  අවධාරණය කරයි.  
     
    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති චෑන්ග් වොන් සෑම් (Chang won sam) මහතා  මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවූ අවස්ථාවේ දී ය. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නිවාස අමාත්‍යාංශයේ දී මෙම හමුවීම සිදුවිය.
     
    මෙහිදී අදහස් දැක්වූ චෑන්ග් වොන් සෑම්  මහතා ප්‍රකාශ කර සිටියේ බෙදුම්වාදය සම්බන්ධයෙන් තම රටට ඉතා නරක අත්දැකීම් තිබෙන බවත් ඒ බව දකුණු කොරියානු ජනතාව ඉතා හොඳින් දන්නා බවත්ය. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට එරෙහි ව ජාත්‍යන්තරයේ දී කොන්දේසි  විරහිත ව පෙනී සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව භූගෝලීය වශයෙන් සමාන රටවල් දෙකක් බවත් සමාජ දේශපාලන ගැටලුවල දී ශ්‍රී ලංකාව හා දකුණු  කොරියාව ඒවාට මුහුණ දෙන්නේ පොදු ආකාරයට බවත් පැවසීය. ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් 26,000ක් පමණ දකුණු කොරියාවේ සේවය කරන අතර ඔවුන්ට දේශීය වශයෙන් ලබාදිය යුතු සියලු වරප්‍රසාද දකුණු කොරියානු රජය ලබාදී තිබෙන බවත් ප්‍රකාශ කළ චෑන්ග් වොන් සෑම් මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දකුණු කොරියාව සතු  තාක්ෂණික හා අනෙකුත් බොහෝ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ දකුණු කොරියානු රජය ශ්‍රී ලංකාවට ඉතිහාසයේ සිට දැක් වූ සහයෝගයට ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්තූතිය පළ කර සිටින බවත් එම  සහයෝගය ඉදිරියට බලාපොරොත්තු වන බවත්ය. 
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. විශේෂයෙන් ම ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රය පුළුල් අවකාශයකට විවර වන බවත් ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ වැදගත්කම ද විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
     
    ඉදිකිරීම් ශිල්පීන් පුහුණු කිරීමට දකුණු කොරියාව කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා කොරියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කොයිකා ආයතනය මඟින් පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන බවත් ඊට අමතර ව අඩු වියදම්  තාක්ෂණය යටතේ ශක්තිමත් නිවාස ශ්‍රී ලංකාවේ ඉදිකිරීම  පිළිබඳ ව අවධානය යොමුකර තිබෙන බවත්  සෑම් මහතා ප්‍රකාශ කර සිටියේය. 
     
    එසේම ජන සෙවණ නිවාස වැඩසටහන ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත් එය තමන් අගය කරන බවද  ප්‍රකාශ කළ ඒ මහතා එම වැඩසටහන සාර්ථක වීමට එහි තිබෙන 
    විශේෂත්වය කුමක් ද යන්න විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජන සෙවණ වැඩසටහන ජන සහභාගීත්වයෙන් රට පුරා ක්‍රියාත්මක වන වැඩසටහනක් බවයි. රජය වශයෙන් ලබාදිය යුතු සහයෝගය ලබාදෙන බැවින් ජනතාව තුළ මෙම වැඩසටහන පිළිබඳ ව විශ්වාසය තහවුරු වී පවතින නිසා මෙම වැඩසටහන සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    රජය හා පෞද්ගිලික අංශ එක් ව වසරකට සාමාන්‍යයෙන් උපරිම නිවාස 250,000ක් ඉදිකර තිබුණ ද වත්මන් රජය යටතේ 2011 වසරේ දී ජන සෙවණ වැඩසටහනත් සමඟ වසරක් තුළ ස්ථීර නිවාස ඉදිකිරීම ලක්ෂ 4ක් දක්වා  ඉහළ නැංවූ බවත් වර්තමනයේ ශ්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාව ලක්ෂ 7කට වඩා අඩු වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya