මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල සවුත්ලන්ඩ් තාප්පය කැඩීමට පුරාවිද්‍යාවේ සම්බන්ධයක් නෑ

    ඔක්තෝබර් 09, 2014

    ගාල්ල ලෝක උරුම ස්ථානය තුළ පිහිටි සවුත්ලන්ඩ් විද්‍යාලයේ මායිම් තාප්පය කඩා දැමීම සම්බන්ධ ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ ව වැරදි වැටහීමක් ඇති වන ආකාරයේ ප‍්‍රවෘත්ති පළ වෙමින් පවතින බව දක්නට ඇත.


    ලෝක උරුම නිර්ණායක අනුව ප‍්‍රකාශයට පත්කර ඇති නියමතා පද්ධතියට අනුව ගාලු කොටුව තුළ ඇති පාසල් හා අනෙකුත් රාජ්‍ය ආයතන තව දුරටත් ව්‍යාප්ත නොවන ආකාරයට කටයුතු කළ යුතු වේ. ඒ අනුව පාසල් හා රාජ්‍ය ආයතන කොටුවෙන් පිටත ස්ථානගත කිරීම සඳහා දිරිගැන්විය යුතුය. බොහෝ රාජ්‍ය ආයතන මේ වන විට කොටුවෙන් පිටත ස්ථානගත කර ඇති අතර තවත් ආයතන රාශියක් කොටුවෙන් පිටතට ගෙන යාම සඳහා සැලසුම් කර ක‍්‍රියාත්මක වෙමින් ද පවතී. ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය විසින් මෑතක දී රැම්පාට් වීදියට යාබද ව භුක්තිය ලබාගත් ඉඩම් කොටසෙහි මාර්ගයට මායිම් වන තාප්පයක් ඉදිකිරීම සඳහා ගාල්ල කොටුව සැලසුම් අනු කමිටුවෙන් මූලික සැලසුම් නිරාකරණය ඉල්ලා සිටින ලදී.

    එහිදී බාලිකා පාසලක් වීම යන සාධකය පිළිබඳ ව අවධානය යොමුකර ක්‍ෂේත‍්‍ර පරීක්‍ෂණයකින් අනතුරුව, යාබද අංක 23 ඉඩමෙහි ඇති පැරණි තාප්පයට අනුරූපී ව අඩි 4යි අඟල් 6ක් උස සුදු කපරාරුව සහිත තාප්පයක් ඉදිකිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින ලදී. එමෙන්ම එම තාප්පයෙන් වටකර ගන්නා කොටස ඉදිකිරීම්වලින් තොරව පවත්වා ගත යුතු බවට කොන්දේසියක් ද විය.

    මේ අතර ඉදිරිපත් කළ සැලසුම් යෝජනාවට ගාලු කොටුව සැලසුම් අනු කමිටුවේ මූලික සැලසුම් නිරාකරණය ලබා දුන් නමුත් ගාලු මහ නගර සභාවෙන් ලබා ගත යුතු ඉදිකිරීම් බලපත‍්‍රය ලබා ගැනීමෙන් තොරව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධීක්‍ෂයකින්ද තොර ව, නිර්දේශිත උසට වඩා උසින් යුතු තාප්පයක් කළුගල් නිමාවෙන් යුතුව ඉදිකිරීමට පාසල් සංවර්ධන සමිතිය කටයුතු කරනු ලැබීය. ඒ අනුව එම ඉදිකිරීම් නවත්වන ලෙස උපදෙස් ලබා දුන්න ද එය ද ඉටු නොවන හෙයින් නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවිය.

    එහිදී නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා ඉදිකරන ලද තාප්පය නිර්දේශිත සැලසුමට අනුව යථාවත් කරන ලෙස උපදෙස් දුන්න ද එය සම්පූර්ණයෙන් ම කඩා ඉවත් කරන ලෙසට කිසිදු විටෙක උපදෙසක් ලබා දී නොමැත. නමුත් පාසල් සංවර්ධන සමිතිය විසින් නඩු දිනට පෙර දින තාප්පය සම්පූර්ණයෙන් ම කඩා ඉවත් කර ඇති අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කඩා දැමූ බවට පසුගිය පළමුවන දින උද්ඝෝෂණයක්ද පවත්වමින් ප‍්‍රචාරණය කරන ලදී.

    පාසලක ආරක්‍ෂාව පිළිබඳ ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි අවබෝධයක සිටින බව සඳහන් කරනු කැමති අතර මෙසේ ඔවුන් විසින් අනවසරයෙන් නිර්දේශිත සැලැස්මට පටහැනි ලෙස ඉදිකරන ලද තාප්පය ඔවුන් විසින් ම කඩා ඉවත් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල කිරීම වැරදි බව පෙන්වා දෙමු.

    මේ පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාරවරියගේ සහභාගීත්වයෙන් පසු ගිය ඔක්තෝබර් 6 වන දින නාගරික සංවර්ධන අධිකාරියේ දී ඇති වූ සාකච්ඡාවේ දී ඉතා පැහැදිලි තීරණයක් ගන්නා ලද අතර, නිසි අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරු ව තාප්පය ඉදි කිරීමට ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට කිසිදු බාධාවක් නොමැති බව එහිදී තීරණය විය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya