ශ්‍රී ලංකාව සිය ආර්ථිකය විවෘත කර දැන් දශක හතරකට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර ඒ කාලය තුළ දළ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම, මධ්‍යස්ථ වර්ධන වේගයක් ළඟා කර ගැනීම, අපනයන වැඩිකර ගැනීම, රැකියා සුලබ කරගැනීම, දුගීකම අඩුකර ගැනීම වැනි ආර්ථික අතින් සුබදායී දේ ළඟාකර ගැනීමට හැකිවී තිබේ. ඒ අතරේ ආදායම් පරතරය වෙනස් නොවීම, ණය බර ඉහළ යාම, ආණ්ඩුවේ ආදායම සාපේක්ෂ ව පහළ වැටීම, පාරිසරික ව්‍යසනයන්හි බලපෑම ආර්ථිකයට දැනීම, ජනගහන ප්‍රතිලාභ ශ්‍රම බලකායට ලැබුණත් එය ආර්ථිකයට බරක් වෙමින් තිබීම වැනි අසුභවාදී ප්‍රවණතා ද ඇති වී තිබෙන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මැදි ආදායම් රටක් යනු කුමක්දැයි යන්නට ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර විවිධ අර්ථ දැක්වීම් තිබුණ ද අප මෙහිදී ලෝක බැංකු අර්ථ දැක්වීම එනම්, ඒක පුද්ගල ආදායම ඩොලර් 1045 - 12,746 අතර ප්‍රමාණය සලකා බලනු ලබයි. අද ලෝකයේ රටවල් 33ක් අඩු ආදායම් රටවල් ලෙසත්, රටවල් 50ක් පහළ මැදි ආදායම් රටවල් ලෙසත්, (ශ්‍රී ලංකාව අයත් වන්නේ එකී කාණ්ඩයටයි) රටවල් 51ක් ඉහළ මැදි ආදායම් රටවල් ලෙසත්, රටවල් 63ක් ඉහළ ආදායම් රටවල් ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන හඳුනාගෙන තිබේ. බොහෝ රටවල් දැන් සිය ආර්ථිකයන් විවෘත කිරීමත්, නිෂ්පාදන සාධක ලාභ කිරීමත්, එනම් ලාභ ශ්‍රමය, බලශක්තිය, සම්පත් හා ප්‍රාග්ධනය නිසා අධික තරගකාරීත්වයක් ලොව පුරා ඇති වී තිබෙන අතර ආර්ථික සංවර්ධනයේ ඊළඟ උපාය මාර්ග වනුයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා නවෝත්පාදනයයි. ගෝලීය තරගකාරීත්වය නිසාත් අභ්‍යන්තර තත්ත්වයන් නිසාත් ශ්‍රී ලංකාව දැන් සිය ආර්ථික සංවර්ධන උපාය මාර්ගය වෙනස් කර ගැනීමකට කාලය උදා කර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අපගේ ආර්ථික පුරෝකතන අනුව 2020දී ඒක පුද්ගල ආදායම ඩොලර් 7000ත් 2040දී ඒක පුද්ගල ආදායම ඩොලර් 12,000ත් ළඟා කර ගැනීමට නියමිතය. එනම් අධි ආදායම් රටක් වීමට අපේක්ෂිත කරන්නේ 2040දීය. මේ සඳහා අපි අඛණ්ඩව 8%ක ආර්ථික වර්ධනයක් හා 3%ක ප්‍රමාණයේ රුපියල අවප්‍රමාණය වීමේ ශීඝ්‍රතාවක් පවත්වා ගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ ආර්ථික හැකියාව පිළිගත් මාදිලි කීපයකින් පරීක්ෂාකර පෙන්වා දී ඇත්තේ අපේ සාමාන්‍ය හැකියාව වසරකට 6.7%ක් වර්ධන වේගයක් බවය. පරිසර සාධකවල ආර්ථික බලපෑම අනුව බලන කල 2050 වන විට ද.දේ.නි. 1.2%කින් ද 2100 වන විට ද.දේ.නි. 6.5%කින් ද කා දමන්නට ගෝලීය හා ජාතික පරිසර විනාශයන්ට හැකි බව අනතුරු අඟවා තිබේ.
එමෙන් ම ජනතාවගේ ශුද්ධ ආදායමට (3%) වඩා වැඩි වේගයකින් (6.7%) ශුද්ධ වියදම වැඩි වී තිබේ. (2006 - 12) ආදායම් පරතරය එලෙසම වන අතර පහළ ම ආදායම් ලබන 20%ක් ජාතික ආදායමෙන් 4%ක් ලබද්දී ඉහළ ම ආදායම් ලබන පිරිස 50%ක් ලබයි. ආදායම් දුගීකම අඩුවුවත් ආහාර සුරක්ෂිතභාවය, ආර්ථික අර්බුදවලට, පාරිසරික අර්බුදවලට මුහුණ දීමේ හැකියාව අතින් දුගී ජන කණ්ඩායම් තවමත් සුරක්ෂිත නොමැත. විරැකියාව අඩු වූවත් (3.7%) උගත් තරුණ පිරිස අතර විරැකියාව ඉහළ ප්‍රතිශතයක් වන අතර වයස 20-24 අතර 20% ක් හා උසස් පෙළ සමතුන් අතර එය 10%ක් වේ.
මේ නිසා ජාතික ආදායම් වැඩිකර ගැනීම, සමාජ අසහනයන් දුරුකරලීම, පරිසර සංරක්ෂණය හා නැවත ගොඩනැංවීම සඳහා නව උපාය මාර්ගයක් අවශ්‍ය වේ. දැනුම් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා නවෝත්පාදනය ඉලක්ක කර ගත් තාක්ෂණ හා පර්යේෂණ ආයෝජන සැලැස්මක් අප ඉදිරිපත් කරන්නේ ඒ සඳහාය. එහිදී අප ජලය, ආහාර හා පෝෂණය, සෞඛ්‍ය, නිවාස, පරිසරය, බලශක්තිය, ඇඟළුම්, ඛනිජ ද්‍රව්‍ය, සන්නිවේදනය, මූලික විද්‍යාවන් ආදී ලෙස ප්‍රමුඛතා ක්ෂේත්‍ර 10ක් හඳුනාගෙන තිබේ. එමෙන්ම ප්‍රතිපත්ති සැකසීම, පර්යේෂණ නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය ආදී ලෙස මැදිහත්වීම් 10ක් ද හඳුනාගෙන ඇත.
දළ ජාතික ආදායමෙන් 0.2% සිට 1.0%ක් දක්වා පර්යේෂණ සඳහා විධිමත්ව ආයෝජනය කළහොත් අපේ ආර්ථික සමාජීය පාරිසරික තිරසර සංවර්ධනය ළඟා කර ගත හැකිය. නවෝත්පාදනය පෙණ බුබුලක් නොව මහෝඝයක් වන අතර තිරසාර රටකට එමඟින් පියනැගීමට කටයුතු කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
NDH