අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික ආසියානු දේශපාලන පක්ෂ සමුළුව හෙට සිට කොළඹ දී

    සැප්තැම්බර් 18, 2014

    අන්තර්ජාතික ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනය - 2014 (International Conference on Asia Political Parties – ICAPP) හෙට (19) සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ. සම්මේලනයේ සංවිධායකත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සම සහභාගිත්වයෙන් සිදු කරනු ඇත. 

     

    "ආසියානු සමාජයක් බිහිකිරීම (Building Asian Cummunity)" යන්න තේමා කර ගනිමින් ආරම්භ වන මේ සමුළුව රටවල් 33ක මූලිකත්වයෙන් හා දේශපාලන පක්ෂ 75ක නියෝජනයෙන්, නියෝජිතයන් 300කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

     

    මේ සමුළුවේ සාකච්ඡා වාර හෙට පෙරවරු 11.00 සිට බණ්ඩාරනායක අන්තර්ජාතක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අතර 20 දින ද එහි සාකච්ඡා පැවැත්වේ. සමුළුව අවසානයේ සියලු ම සාමාජික රටවල සහභාගිත්වයෙන් "කොළඹ ප්‍රකාශනය" නමින් ප්‍රකාශනයක් නිකුත් කිරීමට නියමිතය. මේ සඳහා රටවල් 11ක නිරීක්ෂණ නියෝජිතයන් ද සහභාගි වනු ඇත. 

     

    හෙට පැවැත්වෙන සමුළුවෙන් පසු ICAPPහි සභාපතිත්වයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් වේ. වසර 02ක කාලයක් සඳහා එනම් ඊළඟ සම්මේලනය වන තුරු මෙහි සභාපතිත්වය ශ්‍රී ලංකාව සතු වේ. 

     

    මේ සඳහා සහභාගිවීමට මාල දිවයින් ජනාධිපතිවරයා පැමිණ සිටින බවත් විවිධ රජයන් නියෝජනය කරමින් මැති ඇමතිවරුන් විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණ සිටින බවත් මේ පිළිබඳ අද (18) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

    වසර 2000දී පිලිපීනයේ මැනිලා නුවර ආරම්භ වූ මේ සමුළුව 08 වෙනි වරට පවත්වන්නේ ශ්‍රී ලංකාවේයි. මේ වන විට මෙහි සභාපතිත්වය දරන්නේ කොරියාවයි. හෙට පැවැත්වෙන සම්මේලනයේදී සභාපතිත්වයට අපේ ජනාධිපතිතුමා පත් වූ පසු අපේ රට ගැන ලෝකයාට ගෙන යන පණිවිඩය තවත් ශක්තිමත් වේවි. මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල සභාපතිත්වය දරන්නේ ද ජනාධිපතිතුමායි. මේ වන විට ආසියානු සම්මේලන 02ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙමින් පවතින බව පැවසූ නියෝජ්‍ය කතානායකවරයා  21 දින මෙරටට පැමිණ සිටින නියෝජිතයන් ගාල්ලේ නිරීක්ෂක චාරිකාවක නිරත වන බව ද කීය. 

    ආසියානු සමාජයක් බිහිකිරීම සඳහා අවශ්‍ය සාධක මෙවර සමුළුවේදී සාකච්ඡා කෙරේ. ලෝක ආර්ථිකය දෙස බැලූ විට ආසියානු කලාපය ලෝක ආර්ථිකයේ පදනම ලෙස දැකිය හැකිය. ආසියාව වේගයෙන් දියුණුවෙමින් පවතී. සමාජ, සංස්කෘතික වශයෙන් ඓතිහාසිකව ආසියාවට ප්‍රමුඛත්වයක් හිමි වේ. සංස්කෘතික, සදාචාරය ඉදිරියට ගෙන යමින් කතිකාවක් ගොඩනැංවීමට මෙවර සමුළුවේදී අපේක්ෂිත බව ද වීරක්කොඩි මහතා පැවසීය. 

    ප්‍රධාන සමුළුවට සමගාමී ව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් තරුණ සමුළුවක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මූලිකත්වයෙන් කාන්තා සමුළුවක් ද පැවැත්වේ. 

     

    තරුණ සමුළුව සඳහා සියලු ම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරුණ පිරිස සහභාගී වනු ඇත. මේ අතර ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව, යොවුන් පාර්ලිමේන්තුව, තරුණ සේවා සභාව, විවිධ තරුණ සංවිධාන නියෝජිතයන් 350ක් පමණ වෙති. 

     

    ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා වන සියලුම කාන්තාවන් හා ක්‍රියාකාරී සිවිල් සමාජ නියෝජතවරියන් කාන්තා සමුළුවට එක් වන බව පැවසූ කතානායකවරයා ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා සන්ධානයේ පක්ෂ හා ලිබරල් පක්ෂ මෙහි ලියාපදිංචි වී ඇතැයි කීය.

     

    ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ඉරානය, තායිලන්තය, කොරියාව, චීනය, ටර්කි, නේපාලය, මැලේසියාව, රුසියාව, වියට්නාමය, සැම්බියාව ඇතුළු රටවල් 33ක් මෙහි සාමාජිකත්වය දරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya