අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගම් නිරෝධායන ප්‍රමිතීන් පිළිබඳ ව අපනයනකරුවන් දැනුවත් කෙරේ Featured

    සැප්තැම්බර් 18, 2014
    ලියාපදිංචි නො වූ සමාගම්කරුවන් විසින් සිදු කරනු ලබන අපනයනයන්හි අවම ප්‍රමිතීන් 
    හේතුවෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් සිදුවන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන 
    මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්, සුජාතා වීරකෝන් මහත්මිය පැවසුවාය.
     
     ඇය මෙම අදහස් පළ කළේ, යුරෝපා සංගමයට එළවළු සහ පලතුරු අපනයනය කරන්නන් සඳහා වූ නිරෝධායන ක්‍රමවේද පිළිබඳ ව දැනුවත් කිරීම වෙනුවෙන් අපනයන 
    සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවති පුහුණු සැසියකට සහභාගී වෙමිනි.
     
    2011 වසරේ සිට මේ දක්වා යුරෝපා සංගමයට අපනයනය කළ බහාලුම් 295ක් 
    අතරින් 290ක් ම යුරෝපා නිරෝධායන ප්‍රමීතීන්ට අනුගත නොවීම හේතුවෙන් එම 
    සංගමය ප්‍රතික්ෂේප කොට තිබිණි. 
     
    මින් බහුතරයක්, දේශීය එළවළු හා පලතුරු ඇතුළත් ඒවා වූ අතර, ‍ඒ පිළිබඳ ව අවධානය 
    යොමු කොට, යුරෝපා සංගමය වෙත අපනයනය කරනු ලබන එළවළු හා පලතුරුවල 
    ප්‍රමිතිය හා නිරෝධාය ක්‍රියාමාර්ග පිළිබඳ ව අපනයනකරුවන් දැනුවත් කිරිම මෙම සැසියේ අරමුණ වී තිබිණි. 
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ වන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන 
    මණ්ඩලය මෙය සංවිධානය කරන ලද අතර, ශ්‍රී ලංකාවේ මෙවැනි පුහුණු සැසියක් 
    පැවැත්වූ පළමු අවස්ථාව මෙය වේ.
     
    භාණ්ඩාගාර නිලධාරීන් හා එළවළු, පලතුරු අපනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී 
    ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගත් බවත් දැනට සුළු 
    පරිමාණයෙන් සිදුවන මෙම අපනයන ක්ෂේත්‍රය, ඇමරිකානු ඩොලර් 500ක අපනයන 
    වර්ධනයක් දක්වා නඟාසිටුවීමට අවශ්‍ය පියවර ගැනීම මෙම තීන්දු අතරින් ප්‍රධාන එකක් 
    බවද ඒ මහත්මිය සඳහන් කළාය. 
     
    එළවළු හා පලතුරු අපනයන ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා රජයේ මූල්‍ය සහන බලාපොරොත්තු නොවන බවත්, ප්‍රතිපත්තිමය වෙනස්කම් අපේක්ෂා කරන බවත් 
    අපනයනකරුවන් මෙහිදී භාණ්ඩාගාර නිලධාරීන්ට පෙන්වා දුන් බවද වීරකෝන් මහත්මිය 
    පැවසුවාය.
     
    මෑතකදී ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය කළ එළවළු හා පලතුරු අඩංගු 
    සැලකිය යුතු බහාලුම් ප්‍රමාණයක් නැවත ශ්‍රී ලංකාව වෙත හරවා එවා ඇති බැව් සඳහන් 
    කළ ඒ මහත්මිය, මෙයට හේතු වූයේ යුරෝපා සංගමය අනුගමනය කරන නිරෝධායන 
    ප්‍රමිතීන් සම්පූර්ණ කිරීමට අදාළ නිෂ්පාදනකරුවන් අසමත් වීම බවද කියා සිටියාය. 
     
    මෙහි ඇති විශේෂත්වය වන්නේ, මෙසේ ප්‍රතික්ෂේපිත වූ එළවළු හා පලතුරු අපනයනකරුවන් සියලුදෙනාම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි 
    අපනයනකරුවන් නොවීම බවද ඇය පැවසුවාය. ලියාපදිංචි අපනයනකරුවන් හා 
    අපනයන සංවර්ධන මණ්ඩලය නිරන්තරයෙන් සහ සබඳතා පවත්වන බවත්, ඒ හරහා 
    කාලීන අපනයන තොරතුරු හා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පෙරදාතම් වන වන බවද ඇය 
    සඳහන් කළාය. 
     
    කිසිදු අයකිරීමකින් තොර ව සිදුකරන ලියාපදිංචියට යොමුවීමේ ඇති වැදගත්කම පෙන්වා 
    දුන් සුජාතා වීරකෝන් මහත්මිය, දැනට අපනයනයේ යෙදෙන සියලු සමාගම් හා 
    පුද්ගලයන්ට ඒ සඳහා යොමුවන ලෙස ඉල්ලීමක්ද කළාය.
     
    මෙහිදී අදහස් දැක්වූ කොළඔ වරාය නිරෝධායන අංශයේ ස්ථානාධිපතිනී, චම්පිකා 
    හේවගේ මහත්මිය පැවසුවේ, යුරෝපා සංගමය තම රටවලට යම් නිෂ්පාදනයක් ඇතුළු 
    කර ගැනීමේදී මීට පෙර අනුගමනය කළ නිරෝධායන ප්‍රමිතීන්ට වඩා සංකීර්ණ 
    ප්‍රතිපත්තියක් දැනට ක්‍රියාත්මක කරන බැවින් දේශීය අපනයනකරුවන්ගේ සැලකිල්ල 
    පෙරට වඩා ඒ කෙරේ යොමුවිය යුතු බවයි. එය කොතරම් සංකීර්ණ ද යත්, යම් භෝගයක 
    වගා මාධ්‍යය, යොදාගන්නා රසායකින හෝ කාබනික පොහොර මෙන් ම පලිබෝධ 
    මර්ධන ක්‍රමවේද පිළිබඳ තත්ත්ව වාර්තා පවත්වාගෙන යාමේ වැදගත් කම කෙරෙහි ද 
    ඇතැම් විට ඔවුන් අවධානය යොමුකරන බව ඇය පැවසුවාය. 
     
    එබැවින් යහපත් කෘෂිකාර්මික ක්‍රමවේද (GOOD AGRICULTUREL PRACTICES) අනුගමනය කිරීමේ වැදගත් කම අපනයන සාර්ථක්තවය සඳහා වැදගත් බවද, හේවගේ මහත්මිය අවධාරණය කළාය. නිරෝධායන ප්‍රමිතීන්ගේ ගැටලු ඇතිවන අවස්ථාවක ඒ සඳහා උපදෙස් දීමට හා දැනුවත් කිරීම් සිදුකිරීමට තම ආයතනය නිරතුරුව කැපවන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. 
     
    2013 වර්ෂය වන විට අපනයනකරුවන් 3650ක් වූ අතර, 2014 වර්ෂයේ ජනවාරි 
    හා ජූලි කාලය තුළ අපනයනයේ නිරත වූවන් සංඛ්‍යාව 3170කි. එමෙන් ම, 1985 
    අගෝස්තු සිට මේ දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වී 
    සිටින අපනයනකරුවන්ගේ සංඛ්‍යාව 2,27,853කි. 2013 වසරේ ශ්‍රී ලංකාව, 
    ඇමරිකානු ඩොලර් මිලියන 20ක් වටිනා එළවළු අපනයනය කොට ඇති අතර, 
    ඇ.ඩො. මිලියන 4ක් වටිනා පලතුරු අපනයනය කොට තිබේ.
     
    මෙම පුහුණු සැසිය සඳහා එම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක යූසුෆ් මරික්කාර්, නියෝජ්‍ය අධ්‍යක්ෂ දර්ශන පෙරේරා, වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා රුවන්ති ආරියරත්න යන මහත්ම මහත්මීන් ද, ප්‍රමුඛ පෙළේ එළවළු පලතුරු අපනයන සමාගම් හි නියෝජිත මහතුන් ඇතුළු අපනයනකරුවන් රැසක් ද, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, හැටන් නැෂනල් බැංකුව, වාණිජ දෙපාර්තමේන්තු නිලධාරීන් ද ඇතුළු රේඛීය ආයතන නියෝජිතවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya