මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ අවසන් අදියර 16දා විවෘත කෙරේ

    සැප්තැම්බර් 05, 2014
    පුත්තලම, ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ අවසන් අදියර 16දා චීන ජනරජයේ ජනාධිපති  ෂී ජිංපින් (xi jinping) මැතිතුමන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාවේ පළමු ගල්අඟුරු විදුලි බලාගාරය වන ලක්විජය බලාගාරය මගින් මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරේ. 
     
    ජාතික විදුලිබල පද්ධතියට, තාප බලශක්තිය මෙගාවොට් 900ක ධාරිතාවක් සම්බන්ධ කිරීම, අනාගත බලශක්ති අභියෝග හමුවේ ශක්තිමත් පියවරක් වේ. ජල විදුලි උත්පාදනය හැරුණු විට, පිරිවැය අවම ලාභදායි විදුලිය නිෂ්පාදනය වන්නේ ගල්අඟුරු වන බැවින්, එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.
     
    නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය, අදියර දෙකකින් සමන්විතය. පළමු අදියර යටතේ මෙගාවොට් 300ක් නිපදවන අතර මෙම විදුලිය, නොරොච්චෝල බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා සම්ප්‍රේෂණය කෙරේ. 
     
    දෙවන අදියර  යටතේ මෙගාවොට් 300 බැගින් වූ ටර්බයින දෙකක් ක්‍රියාත්මක කෙරෙන අතර එමගින් මෙගාවොට් 600ක් නිපදවේ. මෙසේ නිපදවන විදුලිය, නොරොච්චෝල බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා දිවෙන කි.වො. 220 අධිසැර සම්ප්‍රේෂණ මාර්ගයේ කුළුණු 234 ක් ඔස්සේ රැගෙන යාමට නියමිතය. 
     
    චීන ජනරජයේ සහන ණය ආධාර මත 2006 වසරේ දී නොරොච්චෝල බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර සමස්ත ව්‍යාපෘතිය සඳහා වැයවූ මුදල ඩොලර් මිලියන 1341 කි.
     
    නොරොච්චෝල විදුලි බලාගාර ව්‍යාපෘතිය මගින් මසකට විදුලි ඒකක මිලියන 540 ක් නිපදවීමට අපේක්ෂිතය. ඒ අනුව I වන හා IIවන ජනන යන්ත්‍රවලින් 2014-05-26 දින වනවිට ජනනය කර ඇති විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 1114 කි.
     
    පසුගිය 2005 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නිවාස සංඛ්‍යාවෙන් 76.7% කට විදුලිය සපයා තිබූ අතර 2014 වනවිට එය 97% ක් බවට පත්වී තිබේ. 2005 වසරේ රටේ මුළු ස්ථාපිත විදුලි ධාරිතාවය මෙගාවොට් 2412 ක් වන අතර මේ වනවිට ඉන් මෙගාවොට් 3,363 ක් ලෙස ඉහළ නංවා තිබේ.
     
    ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය සඳහා යොදාගත හැකි ජල මූලාශ්‍රයන් වැඩි ප්‍රමාණයක් දැනටමත් භාවිතයට ගෙන ඇති බැවින්, විදුලි උත්පාදනය වෙනුවෙන් විකල්ප ප්‍රභවයන් වෙත අවතීර්ණ වීමට සිදුවී තිබේ. ඒ අතරින් වඩාත් ලාභදායි විදුලි ජනන ප්‍රභවය ප්‍රමුඛතා අනුපිළිවෙලින් ගල්අඟුරු විදුලි බලාගාර සහ ස්වභාවික වායු බලාගාර ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම මේ වනවිට  පුනර්ජනනීය බලාගාරවලින් මෙගාවොට් 367 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර එය රටේ සමස්ත විදුලිබල ඉල්ලුමෙන් 10% ක ප්‍රමාණයකි.
     
    ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ දෙවන ගල්අඟුරු විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති අතර, මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500 ක ධාරිතාවයක් සම්බන්ධ කිරීමට අපේක්ෂිතය.
     
    අනාගතයේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුද ජයගැනීම සඳහා ස්වභාවික වායු බලාගාර මඟින් විදුලි ජනනය කිරීම උදෙසා ද රජය මේ වනවිට මූලික සැලසුම් සකස් කරමින් සිටී. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya