මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෑත් හා දෑස්වලින් ලබා ගන්නා දැනුම ජීවත්වන්නට ප‍්‍රමාණවත් නම් එය රටට වැදගත්

    සැප්තැම්බර් 04, 2014
    අද අපේ රටට ඉතා ම වැදගත්වන්නේ නිපුණතා සංවර්ධනය බවත් විශ්වවිද්‍යාලයට නොගොස් දෑස්, දෑත්වලින් ලබා ගන්නා දැනුම තුළින් ජීවත් වන්නට පුළුවන් නම් එය ඉතා වැදගත් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද (04) කොළඹ නාරාහේන්පිටදී ප‍්‍රකාශ කළේය.
     
    කාර්මික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියට අයත් ආංශික සංවර්ධන ලේකම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරු ව පැවති උත්සවයේ දී වීරතුංග මහතා මේ බව ප‍්‍රකාශ කළේය. 
     
    මේ යටතේ යෞවන කටයුතු හා නිපුණතා හා සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටුවා තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන වැඩිදියුණු කිරීමට ද නියමිතය. ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව යටතේ ණය ආධාර ලෙස ලැබුණු ඩොලර් මිලියන 200ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවේ.
     
    2020 වන විට පුහුණු වන ප‍්‍රමාණය දෙලක්ෂ විසිදහසක් දක්වා වැඩි කිරීම මෙයින් බලාපොරොත්තු වේ.
     
    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මෙසේද කීය.  
     
    රාජ්‍ය සේවයේදී ඉතා වැදගත් වන්නේ මනුෂ්‍යකමයි. බැනුම් අහන්න අකැමති අයෙක් වෙනත් කෙනෙකුට නොබැනිය යුතුයි. අපේ කාර්යාලවලට එන අයට මනුෂ්‍ය කමින් සලකන්නේ නැති නම් ඒ සේවාවෙන් වැඩක් නැහැ.
     
    ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගේ අමාත්‍යංශය මාරු වෙන්නේ ප‍්‍රවාහන අමාත්‍යංශය තුළ සුවිශාල වැඩ කොටසක් කරලා අමාත්‍යංශය උඩු යටිකුරු කරපු වෙලාවකයි. නමුත් ජනාධිපතිතුමා මට කිව්වේ තරුණයන් හදන්න පුළුවන් අමාත්‍යංශයක් ඩලස්ට දෙන්න ඕනෑ කියලයි. මගේ කාලයේදීවත් නොතිබුණු සියලු පුහුණු ආයතන ඒකරාශී කරලා අනාගත තරුණයා නිර්මාණ කිරීම ඩලස්ට කරන්න පුළුවන්, කියලා ජනාධිපතිතුමා කිව්වා. ඊට පස්සේ මම ඩලස් ඇමතිතුමාට කිව්වා ඔබතුමාට කඩිනම් මහවැලිය වගේ අමාත්‍යංශයක් ලැබෙනවා කියලා. අද ඩලස් ඇමතිතුමා ජනාධිපතිතුමාගේ අරමුණ කරා පැමිණෙමින් සිටිනවා. එය ජාතියට සැනසුම් සුසුම් හෙළන්න පුළුවන් අවස්ථාවක් ලෙසයි මා දකින්නේ.
     
    රටේ තාරුණ්‍යය නිවැරදි තැනට ගෙන යෑමයි, වැදගත් වෙන්නේ. තරුණයා නිවැරදි තැනට ගමන් නොකිරීමෙන් සිදු වූ ගැටලු, අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් රට අත්විඳලා තිබෙනවා. ගුරුවරයන්ගේ දැනුම යාවත්කාලීන විය යුතුයි. එසේ නොවුණහොත් දරුවන්ට ලැබෙන්නේ යල්පැන ගිය දැනුම. කාමරයක තනියෙන් තීරණ ගැනීමට වඩා කණ්ඩායමක් ලෙස තීරණ ගැනීම ඉතා වැදගත්ය.  
     
    රටට ඉතා වැදගත් වන්නේ නිපුණතා සංවර්ධනය බවත් විශ්වවිද්‍යාලයට නොගොස් තමන්ගේ දෑත්, දෑස්වලින් ලබා ගන්නා දැනුම තුළින් ජීවත්වන්නට පුළුවන් නම් එයයි අද රටට අවශ්‍ය වන්නේ යැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් බී. විජයරත්න මහතාද මෙහිදී කතා කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya