මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති කරල්ලියද්ද හොර, බොරු, වංචා නැති පරමාදර්ශී දේශපාලඥයෙක්”

    සැප්තැම්බර් 01, 2014

    නිහඬව ජනතාවට අමිල සේවයක් කරන ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා හොර, බොරු, වංචා නොමැති නිකැළැල් පරමාදර්ශී දේශපාලඥයෙක් බව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ උතුරු, උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ පැවසුහ.

    පාර්ලිමේන්තු දිවියේ විසිවසර සපිරීම නිමිත්තෙන් අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා වෙනුවෙන් සංවිධානය කර තිබු උපහාර පිදීමේ උත්සවයේ ප්‍රධාන අනුශාසනාව පවත්වමින් පඤ්ඤානන්ද නාහිමියෝ මේ බව පැවසුහ. උපහාර උත්සවය අනුරාධපුර සමුපකාර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

     උපහාර උත්සවය ආරම්භ කිරීමට පෙර අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් සිය දේශපාලන ගුරුවරයා වූ දිවංගත මෛත්‍රීපාල සේනානායක මහතාගේ, අනුරාධපුර නව පළාත් සභා සංකීර්ණයේ පිහිටි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කළේය.
     
    1994 අගෝස්තු පැවති මහ මැතිවරණයෙන් ප්‍රථමයෙන් ම පාර්ලිමේන්තුවට තේරීපත්වන තිස්ස කරල්ලියද්ද මහතා එදා සිට මේ දක්වා පැවති සියලු ම මැතිවරණවලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතා ආශිර්වාදයෙන් ජය ලබා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

     අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මීට පෙර දේශීය වෛද්‍ය, ඉඩම්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය, දේශීය වෛද්‍ය හා ආගමික කටයුතු නියෝජ්‍ය යන අමාත්‍ය ධූරයන්වල ද කටයුතු කර තිබේ.
     
    උපහාර උත්සවයේ දී තව දුරටත් අදහස් දැක්වූ නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ මෙසේ ද පැවසුහ.

    “කෘතගුණ දන්න ජාතියක සුජාත දූ පුතුන් විසින් සිදුකරන ලද මෙම උපහාර පිදීමේ සත්ක්‍රියාව මනුෂ්‍ය ගුණදම් පිරිහී ඇති අද කාලයේ මිනිසුන්ට උදාර පාඩමක් කියාදෙනවා. තමන් උදව් උපකාර කර කෙනා පමණක් නොවෙයි වටිනාකම කියන්න බැරි තමන්ගේ දෙමාපියෝ අමතක කරන යුගයක නුවර කලාවියේ අහිංසක දෙමාපියන්ගේ මේ දරුවෝ ටික අද මේ රටට පමණක් නොවෙයි ලෝකයටම වටිනා ආදර්ශයක් ලබා දී තිබෙනවා. 

    තමන්ට රැකියාවක් ලබාදීලා සුදුසුකම් සම්පුර්ණ නොකළ දරුවන්ට ඒ සඳහා අවකාශයක් ලබාදී සුදුසුකම් සපිරු පසු සියලු දෙනාගේම රැකියා ස්ථිර කර දී අද අනුරාධපුර අහිංසක ජනතාවගේ ලෙඩ, දුක්, රෝග බිය දුරුකරන්න මේ ප්‍රජා සෞඛ්‍ය දරුවන් අපමණ වෙහෙසක් දරනවා.
     
    තිස්ස කරල්ලියද්ද අමාත්‍යවරයා ගැන කතා කළොත් එතුමා පුදුම කෘතගුණ දන්න නායකයෙක්. අද මේ උපහාර උත්සවයට පැමිණෙන්න කලින් තමන්ට දේශපාලන මඟ කියාදුන්න, තම ඥාතිවර රජරට ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ දුර්ලභ දේශපාලන නායකයෙක් වූ දිවංගත මෛත්‍රීපාල සේනානායක මැතිතුමන්ගේ පිළිරුවට ගෞරවය පුද කරලයි අද කරල්ලියද්ද ඇමැතිතුමා මෙතැනට පැමිණ තිබෙන්නේ.

     වකුගඩු රෝගයන් රජරට ජනතාව සුවපත් කරන්න මීට වසර 15කට පෙර දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු විවිධ වැඩසටහන් ආරම්භ කළා. දැනට දරණ අමාත්‍යාංශයේ සිටත් ඒ සඳහා මැටි වළං බෙදා දී ජනතාව දැනුවත් කරනවා. එදා මුළු රටම ලේ විලක් වූ යුගයේ කැබිතිගොල්ලෑව, පදවිය, මැදවච්චිය වැනි ප්‍රදේශවල ජනතාව කොටි ත්‍රස්තවාදීන්ගෙන් රැකගන්න ජනාධිපතිතුමන්ට යෝධ ශක්තියක් වුණේ තිස්ස කරල්ලියද්ද අමාත්‍යවරයායි. ඒ මහතා තමන්ගේ ජනතාව අමතක කර කොළඹට වී සිටියේ නැහැ. අමාත්‍යවරයා දේශපානලයෙන් තම පුද්ගලික අවශ්‍යතා සම්පුර්ණ කරගත්තෙ නැහැ. මැදවච්චියේ සිටිය මෛත්‍රීපාල සේනානායක නම් අසහාය දේශපාලන චරිතය තව තවත් බබලවන චරිතය ලෙස තිස්ස කරල්ලියද්ද අමාත්‍යතුමන් කටයුතු කරනවා.  ”

    මෙහිදී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, “දේශපාලන ජිවිතයේ වගේ ම පුද්ගලික ජීවිතයේ ඉතාම සතුටට පත් දවසක් අද. මා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නොසිටියත් මේ දරුවන් තමන් වෙනුවෙන්, තමන්ගේ රැකියා ලබා ගැනීම වෙනුවෙන් අද මේ කරන උපහාරය ඔබ වැනි දරුවන් බිහිකළ වාසනාවන්ත දෙමව්පියන්ටත් උපහාරයක්. ඒ වගේම මට පාර්ලිමේන්තුව වසර 20ක් පුරාම නියෝජනය කරන්න උදව් උපකාර කරමින් ආශිර්වාද කළ සියලු දෙනාටත් මේ උපහාරය හිමියි.                                  

     
    ඔබටත් වඩා උදව් උපකාරගත් ඇතැම් පිරිස් අද ඒ සියලු දේ අමතක කර තිබෙන යුගයක, මා අපේක්ෂා නොකළත් ඔබ ඔබගේ යුතුකමක් ලෙස මෙම උපහාර උත්සවය සංවිධානය කළා. ඔබේ දරුවන්ටත් මේ කෘතගුණ දැක්වීමේ ගුණය කියා දෙන්න.   ”

     කැබිතිගොල්ලෑව සුළුගල් දඹුළු විහාරවාසී කුංචුට්ටුවේ පාලිත හිමියන් ද මෙහිදී අනුශාසනාවක් පැවැත්වූහ. 
     
    ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් මෙහිදී සමරු තිළිණයක් පිළිගැන්වූ අතර මෙම අවස්ථාවට මිරිසවැටිය චෛත්‍යරාමාධිපති ඊතලවැටුණු වැවේ ඥානතිලක, නුවර කලාවිය ප්‍රධාන සංඝනායක විරාගන්නෝරුවේ අනුරුද්ධ නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද වැඩමකර සිටියහ. මීට අමතරව උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද, පදවිය සහ රඹෑව ප්‍රාදේශීය සභාවන්හි සභාපතිවරුන්, අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ බිරිඳ හා දියණියන් දෙදෙනා ඇතුළු අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවා නිලධාරි නිලධාරිනියන් දෙසීයකට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya