මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා යූත් දෙවන පාර්ලිමේන්තුව රැස්වීමට Featured

    සැප්තැම්බර් 01, 2014
    ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යූත් දෙවන පාර්ලිමේන්තුවේ 10 වැනි සැසිවාරය ඊයේ (31) හා පෙරේදා (30) දෙදින තුළ මහරගම ශ්‍රී ලංකා යූත් ප්‍රධාන ශාලාවේ ඉදිකරන ලද විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී පැවැත්විණි. 


    මෙම සැසිවාරය සඳහා මෙවර සුවිශේෂී ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.

     

    මෙවර සැසි වාරයේ දී "යෞවන සමාජ ව්‍යාපාරය නූතන සමාජ අවශ්‍යතාවනට ගැළපෙන ලෙස ප්‍රතිසංවිධානය කිරීම කාලෝචිතය / කාලෝචිත නොවේ" යන මාතෘකාව විවාදයට ලක්කෙරුණ අතර මෙම සැසිවාරය සඳහා යොවුන් මන්ත්‍රීවරුන් 412 දෙනෙකු සහභාගී වූහ.
     

    මෙහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම යූත් පාර්ලිමේන්තුව තුළින් රට තුළ සැඟ වී ඇති නායකත්වය ඉදිරියට ගෙනවිත් අනාගතයේ දී ඔවුන්ට මුහුණදීමට ඇති ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදෙන ආකාරය පිළිබඳ දැනගැනීමට අවස්ථාවක් සැලසීම සහ අප රට සංවර්ධිත රටක් වශයෙන් තවදුරටත් ඉදිරියට ගෙන යාමේදී තරුණ පිරිසට මෙවැනි නායකත්වය පිළිබඳ අත්දැකීම් ලබාදීම ඉතා වැදගත් කාරණයක් බවත් මෙහිදී අවධාරණය කර සිටියේය.

     

    අප රටේ අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය හේතුවෙන් තරුණ තරුණියන් පොතපතට ම සීමාවීම තුළින් හා බාහිර සමාජ ක්‍රියාකාරකම් සඳහා නොයෙදීම තුළින් දියුණු වූ හා දියුණු වන රටවල් දෙස බැලීමේදී අප රටේ හොඳ නායකයන් බිහිවීමේ ඌනතාවක් ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා එනිසාම විශ්වවිද්‍යාල හෝ වෙනත් වැඩබිම්වලදී යම් යම් පුද්ගලයන් විසින් ඔවුන්ව අරමුණකින් තොර වැරදි වැඩකිරීමට පහසුවෙන්ම පොළඹවා ගනු ලබන බව ද පවසා සිටියේය.
     

    අද වන විට ද ගම් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් හා පළාත් මට්ටමින්ද විවිධ ආයතනවලින්ද විවිධ ව්‍යාපෘතින් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ඉල්ලමින් විශාල ලිපි ප්‍රමාණයක් ලැබෙන බව පැවසූ රාජපක්ෂ මහතා එයට හේතු වනුයේ හමුදාව විසින් මෙම වැඩ කටයුතු නිවැරදි ආකාරයට හා නිසි වෙලාවට සිදු කිරීම බවද ඒ සඳහා හමුදාව තුළ වඩා හොද නායකත්වයක් පවතින බව ද අනාවරණය කළේය. හොඳ නායකයෙන් බිහිකිරීම ද හමුදා පුහුණුවීම් තුළ ඇති එක් කරුණක් බවත් ඒ සඳහා විවිධ නායකයන්ගේ නායකත්ව ලක්ෂණ හා වැරදි හා අඩුපාඩු සිදු වන අවස්ථාවන්වල දී ඒවා මැඬ පවත්වාගෙන ඔවුන් ඉදිරියටම තම වැඩපිළිවෙළ කරගෙන යාම ආදිය අධ්‍යයනය කිරීම මඟින් ඒ පිළිබඳව ඔවුන් මනා දැනුමක් ලබාගන්නා බවත් ඒ අනුව යම් කාර්යයක් කිරීමේදී තමන් යටතේ සිටින අය වඩා හොඳින් මෙහෙයවීමේ හැකියාවක් ලබාගෙන ඇති බවත් පවසා සිටියේය.

     

    හොඳ නායකත්වයක් කරා යාමේ දී පළමුවෙන්ම නිවැරදි දැක්මක් තිබිය යුතු බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා එකි අරමුණ ඉටු කර ගැනීම සඳහා ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව නිවැරදි සැලැස්මක් සාදා ගත යුතු බව ද අවධාරණය කර සිටි අතර එම සැලැස්මේ නිරවද්‍යතාව හා ශක්තිමත් බව මත තම අරමුණ කරා ගමන් කිරීමේ හැකියාව රදා පවතින බව ද පවසා සිටියේය. ඊළඟට එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කණ්ඩායමක් තෝරා ගත යුතු බවත් එසේ තෝරා ගනු ලබන අය ඊට එරෙහිව වැඩ කටයුතු කරන්නේ නම් ඔවුන් ඉවත් කර ඒ සඳහා අවශ්‍ය වෙනත් අය ආදේශ කිරීමේ හැකියාවත් හොඳ නායකයෙකු තුළ පැවතිය යුතු ගුණාංගයක් බව මෙහිදී පවසා සිටියේය. එසේම මෙම පිරිස සතු දක්ෂතාවන් හඳුනාගෙන අවශ්‍ය නම් ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීම සිදුකළ යුතු බවත් තම අරමුණ කරා ගමන් කිරීමේදී තමාගේ පූර්ණ කැපවීම මෙන්ම තම කණ්ඩායමේ කැපවීම ඇති කිරීම අතිශයින්ම වැදගත් වන බවත් තම අරමුණ අවසානය කරා යන තුරුම එය නැවත නැවත සොයා බලා අධීක්ෂණය කිරීම හා ඒවා නැවත සකස් කිරීම ඉතාම වැදගත් අංගයන් වන බවද අවධාරණය කර සිටියේය.

     

    අතිගරු ජනාධිපතිතුමා තමන් අනුගමනය කරන හොඳ ම නායකයෙකු බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා අප රටේ පැවති ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිතුමා ද ඒ ආකාරයෙන්ම ක්‍රියා කළ බවත් ඒ අනුව දේශීය හා විදේශීය විශාල පිරිසක් කිසිදා යුදමය අතින් පරාජය කළ නොහැකි බවත් ත්‍රස්තවාදය හමාර කිරීමට හැකි වූ බවත් පැවසූ අතර කොළඹ නගරය දියුණු කිරීම හා තම අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන වෙනත් ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ද තමාත් ඉහත දැක්වූ ආකාරයෙන්ම ක්‍රියා කරනු ලබන බවත් ඒ තුළින් බොහෝ දේ පහසුවෙන්ම ජයග්‍රහණය කළ හැකි බවත් පවසා සිටියේය.

     

    මේ ආකාරයෙන් නායකත්වය පිළිබඳ ලක්ෂණ හා ගුණාංගයන් වැඩිදියුණු කරගෙන අප රට ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී තම සැඟවුණ දක්ෂතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාදෙන ලෙසත් යූත් පාර්ලිමේන්තුවේ සිටි තරුණ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම 10 වැනි සැසිවාරය ඇමතීම සඳහා තමාට ආරාධනය කිරීම සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා ඇතුළු සියලු දෙනාටම සිය ස්තූතිය පුද කර සිටීමට ද මෙහිදී අමතක නොකළේය.

     

    ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලදී විශේෂ ක්‍රීඩා දක්ෂතාවන් පෙන්වූ තරුණ තරුණියන් කීපදෙනෙකු වෙත ත්‍යාග පිරිනැමීම ද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා අතින් සිදු කරන ලදී.

     

    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ඒ.එච්.එම්. අස්වර්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් හා ආරාධිතයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ.
     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya