මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල දරුවන් දේශපාලන අරමුණු ඉටුකරගැනීමට යොදාගන්නවා

    අගෝස්තු 25, 2014
    විශ්වවිද්‍යාල දූ දරුවන්ට කළගුණ සැලකීම වැනි හොඳ ගුණාංග පුරුදු පුහුණු කරන්නට අවස්ථාවක් නොදී ඒ දුවාදරුවන් තමන්ගේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගන්නට යොදා ගැනීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    "විශ්වවිද්‍යාල තුළට, උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන තුළට රිංගා ඒ දරු දැරියන්ගේ මනසට අනවශ්‍ය දේ බලෙන් ඇතුල් කරමින් තමන්ගේ අනාගත දේශපාලන ගමන් මඟ සකසා ගන්නට සිදු කරන ඒ නරක ආදර්ශය පිළිබඳ ව දරුවන් නිවැරදිව දැනුවත් විය යුතුයි. ඒ සඳහා හොඳ පූර්වාදර්ශයක් අද ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින් රටට ම ලබා දෙනවා".
     
    මට්ටක්කුලිය ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ දී පැවති එම ආයතනයේ විශ‍්‍රාමික නිලධාරීන් සහ සේවකයන් උදෙසා සංවිධානය කර තිබූ උපහාර පිදීමේ උත්සවයකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    "රටක් වශයෙන් වේගයෙන් නැඟී සිටින ශ‍්‍රී ලංකාව අධ්‍යාපන, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික යන මේ සියලු අංශයන්ගෙන් ලෝකයේ ඉහළ මට්ටමක අද සිටිනවා. ජනාධිපතිතුමාගේ නොසැලෙන නායකත්වය යටතේ රට ගමන් ගන්නා සුබ දිශාව දෙස ලෝකයා බලා සිටිද්දී යහ ගුණයෙන් ද පෝෂණය වුණු සමාජයක් බිහිවීම අතිශයින් ම සතුටුදායක තත්ත්වයක්. රටක් සංවර්ධනය විය යුත්තේ හුදු භෞතික සම්පත්වලින් හෝ ආර්ථික සම්පත් අතින් පමණක් නොව ගුණ නුවණට ගරු කරන වැඩිහිටි පරම්පරාවට ගරු කරන යහපත් සිතුම් පැතුම්වලින් යුත් මිනිසුන් ද සමඟ බව ජනාධිපතිතුමාගේ දැක්මයි". 
     
    "අප බිහි කළ යුත්තේ ඉංජිනේරුවකු, ගණාකාධිකාරීවරයෙකු, වෛද්‍යවරයෙකු පමණක් නොවෙයි. ඔවුන් මිනිස්කමෙන් සපිරි මනුෂ්‍යයන් කරන්නට ද අප වගබලා ගත යුතුයි . ඒ අතර ම ඔවුන්ට මානසික මෙන් ම ශාරීරික සමබරතාව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ද සකසා දිය යුතුයි. එහෙම නොවුණොත් ඔබට අපට සිදුවන්නේ ඒ දරුවන්ගෙන් ම නින්දා අපහාස ලබන්නටයි. ඒ දරුවන් අපට නොසලකා හරීවි". 
     
    ඒ දරුවන් නොදැනුවත්වම ඔවුන්ගේ දරුවන් අතින් ද අනාගතයේ දී සිදුවන්නේ එම වැරැද්දම බැවින් දරුවන්ට ලබාදෙන නිහඬ පණිවුඩය ඉතා ම වැදගත් යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හිලරි ද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සී.එම්. පීරිස්පුල්ලේ මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya